දෙවිඳු උපන්නේය සතුනි
කිනිර | Dec. 25, 2023
පෘතූගීසින් ලංකාවෙන් පළවා හැරීම සඳහා ක්‍රි.ව. 1638 දී ලන්දේසීන් සහ උඩරට දෙවන රාජසිංහ රජතුමා අතර ඇති කර ගත් ගිවිසුමෙන් පසු ලක්දිච මුහුදුබඩ පෙදෙස් හා යාපනේ ප්‍රදේශය ද ලන්දේසීන්ගේ පාලනයට නතූ විය. පෘතූගීසින් පොදු සතුරා ලෙස සළකනු ලැබූ අතර, රෙපරමාදු නිකායිකයන් වූ ලන්දේසීහු, කතෝලිකයන් මිසදිටුවන් සේ සැළකූ හ. මේ හේතුවෙන් ඔවුහු කතෝලික දේවස්ථාන, පාඨශාලා, පුණ්‍යායතන යනාදිය රාජසත්තක කොට ගෙන, කතෝලික පූජකවරුන් රටින් පළවා හැර කතෝලික ශාසනය නීතියෙන් තහනම් කළහ.
මේ කාලයේ ලංකාවේ කතෝලිකයන්ට තිබුණු ලොකු ම ගැටලුව වූයේ තමනට අවශ්‍ය ආගමික කටයුතු ඉටු කැර ගැනීමට අවශ්‍ය පූජකවරුන් නොමැතිවීම ය. මේ අපහසුතාවය යම් තරමකට හෝ නැති වී ගියේ, ජුසේ වාස් නමැති කතෝලික පියතුමා 1687 දී කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන ලංකාවට පැමිණීමෙන් පසු ය.
ජුසේ වාස් පියතුමා මහත් සේ විපතට පත්ව සිටි කතෝලිකයන් දිරි ගන්වමින් ඔවුන් දේවසමයෙහි දැඩි හක්තිකයන් බවට පමුණුවා ලූ හ. මෙසේ කල් ගතවත් ම එතුමන්ගේ ආධාරයට ගෝවේ සිට 1705 වර්ෂයේ දී ඔතෝරියානු පියවරුන් සතර දෙනකු ලක්දිවට වැඩම කළ අතර, ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ඔවුනතරින් එක් අයෙක් වූ හ.
ජාකෝමේ ගොන්සාල්වෙස් පියනම ලක්දිවට පැමිණිම සඳහා ක්‍රි.ව. 1705 මැයි මස 09 ගෝවෙන් පිටත් වූ නමුත් ලංකාවේ තලෙයිමන්නාරමට පැමිණියේ 1705 අගෝස්තු 31 වන දා ය. තෙමසක පමණ කාලයක් දකුණු ඉන්දියාවේ සිටීමට සිදු වුණත්, එම කාලය තුළ එතුමාට දෙමළ බස තරමක් හදාරන්නට පිළිවන් විය. 1706 වසරේ දී ජුසේ වාස් පියතුමා ගොන්සාල්වේස් පියතුමා සමග ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල ධර්ම ප්‍රචාරය පිණිස සංචාරය කළ හ. මේ සංචාරයේදී ගොන්සාල්වේස් පියතුමා ව්‍යක්ත ලෙස දෙමළ බස භාවිතා කරනු දුටු ජුසේ වාස් පියතුමා, ගොන්සාල්වේස් පියතුමාට සිංහල ද ඉගෙන ගන්නා ලෙස උපදෙස් දී එයට අවශ්‍ය සියළු පහසුකම් ද සළසා දෙන ලදි. එසේ කරන ලද්දේ ඒ වනවිට මහත් අඩුවක් ව පැවති කතෝලික ආගම සහ ධර්මය පිළිබඳ සිංහල සහ දමිළ බසින් ලියැවුණුපොත පත, ගොන්සාල්වේස් පියතුමා අතින් ලියවා ගැනීමේ අදිටනින් ය.
ගොන්සාල්වේස් පියතුමා සිංහල භාෂාව ඉගෙනගත්තේ මහනුවර සමයේ මල්වතු විහාරයේ සිටි ගණින්නාන්සේලා හෙවත් උපසම්පදා නොලත් බෞද්ධ භික්ෂුන් වෙතිනි. ඊට අමතරව සිංහල කාව්‍යකරණයෙහි යෙදෙමින් ඒ පිළිබඳව නමක් දරා සිටි, පසු කලෙක නරේන්ද්‍රසිංහ රජතුමාගේ රජවාසලෙහි මහ අදිකාරම් (First Adigar) බවට ද පත් වූ, දස්කොන් නමින් අප දන්නා පෙද්‍රෝ ගස්කොන් (Pedro Gascon) වෙතින් ද ගුරුහරුකම් ලබා ගත් හ. මේ සියළු දෙනාගේ උපකාරයෙන් ඉතා කෙටි කාලයකින් ව්‍යක්ත ලෙස සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ගොන්සාල්වේස් පියතුමා ලබා ගත් හ.
1711 වසරේ දී ජුසේ වාස් පියතුමා අභාවප්‍රාප්ත වීමෙන් පසුව, ලංකාවේ දකුණු කොටසේ කතෝලික ධර්මදූත සේවාව ගොන්සාල්වේස් පියතුමා ට පැවරිණි. එහෙත් එම වසරේදීම ගොන්සාල්වේස් පියතුමා උදෑසන ඈනුමක් අරින විට එතුමාගේ හකු ඇටය අවසන්ධි වූ අතර, නොයෙකුත් ප්‍රතිකාර කළ ද එය ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමට නොහැකි විය. මේ නිසා ටික කලක් යන තුරු එතුමාට තම කටයුතු මුළුමනින්ම පාහේ ලිඛිතව පමණක් කරන්නට සිදු විය.
බහුල වශයෙන් ලේඛනයට පමණක් සීමා වූ තැන් සිට ගොන්සාල්වේස් පියතුමා සිංහලෙන් ගද්‍ය කෘති 15ක් ද, පද්‍ය සහ ගීත කෘති 5 ක් ද, දමිළ භාෂාවෙන් කෘති 15ක් ද, පෘතුගීසි භාෂාවෙන් කෘති 5ක් ද, ඕලන්ද භාෂාවෙන් එක කෘතියක් ද ලියා ඇත. එමෙන්ම අකාරාදි (dictionary) කිහිපයක් ද සම්පාදනය කර ඇත.
ගොන්සාල්වේස් පියතුමාගේ පද්‍ය හා ගීත නිර්මාණ, බුදුගුණාලංකාරය, වෙස්සන්තර ජාතක කාව්‍යය, කුස ජාතක කාව්‍යය, සුභාෂිතය, කුවේණි අස්න සහ විවිධ සන්දේශ කාව්‍ය ඇසුරු කරමින් ලියැවී ඇතැයි පැවසේ. "ජාකොමේ ගොන්සාල්වේස් තෝරාගත් කෘති" ග්‍රන්ථයේ සංස්කාරක මහැදුරු සුනිල් ආරියරත්න පවසන පරිදි, "වේදකාව්‍යයේ සහ පසන් පොතේ දකින්ට ලැබෙන දෙවු මවු වලප, ගොන්සාල්වෙස් පියනම විසින් රචිත සකලවිධ ගද්‍ය පද්‍ය රචනා අතර විශිෂ්ටතම රචනාව ලෙස නම් කළ හැකි වේ. විදේශික කවියකු කළ මෙම නිබන්ධය, දේශීය කවීන් විසින් විරචිත වැලපුම් ගී වලට නො දෙවැනි රචනයකැයි කිව හැකි ය."
ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා 1730 දී පමණ රචනා කළ, ගීතිකා 106ක් අඩංගු මංගල ගීතිය නම් කෘතියේ 11 වැනි ගීතිකාව වූ, ක්‍රිස්තු උපන් සින්දුව ලෙස නම් කර ඇති දෙවිඳු උපන්නේය සතුනි ගීතිකාව, දැනට භාවිතයේ පවතින කැරොල් ගීතිකා අතරින් පැරණිම ගීතිකාව බව පැවසේ. 1730 දී රචනය වුවද මෙම කෘතිය මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස මුල් වරට පළ කෙරෙන්නට යෙදුණේ 1873 වසරේ දී ය.
මහැදුරු සුනිල් ආරියරත්නයන් පවසන්නේ, මංගල ගීතිය ක්‍රි.ව. 1871න් මතු නැවත මුද්‍රණය නො වීමෙන් ද කවර අන්දමේ හෝ ශුද්ධියකට භාජනය නො වීමෙන් ද ගොන්සාල්වෙස් කෘති අතර වඩාත් අපපාඨ හා සදොස් තැන් සහිත කෘතිය බවට පත් ව ඇති බවයි. මුද්‍රණයට පෙර මේ ගීතිකා ලියැවුණේ තල් පත් වල වූ අතර ඒවා ප්‍රචලිත වූයේ කට වහරින් සහ අත් අකුරු පිටපත් මගිනි. දෙවිඳු උපන්නේය සතුනි ගීතයේ පද පෙළෙහි ද එවන් දොස් කිහිපයක් දක්නට ලැබේ. (උදා: ත්‍රිණ, කොවි, පුවි)
1970 දශකයේ දී අයිවෝ ඩෙනිස් ප්‍රමුඛ ගායන වෘන්දය ගුවන් විදුලිය තුල කළ පටිගත කිරීමේදී භාවිතා කළ පදමාලාවේ, ඉහත කී දෝෂ නැති වූයේ පදමාලාව කිසියම් සංස්කරණයකට භායනය වූ නිසා විය හැකිය. පහත දැක්වෙන්නේ එම පදමාලාව යි.
දෙවිඳු උපන්නේය සතුනි දෙවිදු උපන්නේය ඔහෝ //
දෙවිඳු සර්වනායක වන දිළිඳු එ මනු වෙස් ගනිමින
නිරිඳු දාවිත් කුල සසොබන බිලිඳු ලෙසින මිහි වඩමින
දෙරණේ තෘණ යහනේ කිම සයනේ සුර රජුනේ
දෙවිඳු උපන්නේය...
රංචු ආංජුවරු නෙක එති පංච තුර්ය නාද කරති
නොන්චි නොවම කියමින් තුති පුංචි දෙවිඳු කුමරු වඳිති
තෙපලා තුති ගොසලා නෙක තොසලා පසු බැසලා
දෙවිඳු උපන්නේය...
ගොපළුන් සහ එඬෙර ගොල්ල බිළිඳුන් දෙවි දකින ලොල්ල
එළුවන් සොඳ අජ සෙ මෙල්ල කිරි පැන් සහ පුදති සියල
පරවින් සහ කුරුලුන් මල් පොකුරුන් පද තබමින්
දෙවිඳු උපන්නේය...
රජුරු එතුන් දෙන සමගින පඬුරු රැගෙන ත්‍රීවිධයෙන
කිරුළු සිරස නමා දෙරණ කුමරු පුදය කළෝ තුටින
සිඹලා වැඳ වැටිලා තුති කරලා සිර නමලා
දෙවිඳු උපන්නේය...
සටහන්:
ආංජුවරු - දේවදූතයින්. පෘතුගීසි භාෂාවේ anjo (English: angels) යන වචනය ඇසුරෙන් ගොන්සාල්වේස් පියතුමා විසින් සිංහලට අලුතින් එක් කළ වචනයකි.
අජ සෙ මෙල්ල - බැටළුවන් සේ හීලෑ වූ
ත්‍රීවිධයෙන - ත්‍රිවිධාකාර. රත්‍රන්, කට්ටකුමංචල් සහ සුවඳලාටු (Gold, Frankincense, and Myrrh)
ඇසුර:
1. Life of father Jacob Goncalvez, Fr. S. G. Perera, De Nobili Press, Madura, 1942
2. ජාකොමේ ගොන්සාල්වේස් තෝරාගත් කෘති, සංස්කාරක සුනිල් ආරියරත්න, සමාජ - සංස්කෘතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, 1993