දවා හළු කළ නොහැක

කිනිර | Oct. 1, 2023

Golu Hadawatha බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වාර්ෂික පොත් ප්‍රදර්ශණයට යෑමේ මූලික අපේක්ෂාව වුණේ සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කළ අජන්තා රණසිංහ ගී කෘති එකතුව පොතේ පිටපතක් ගැනීමයි. සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශණ තිබූ A82 කුටියට ඇතුල් වෙද්දී ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහල මහතා කුටිය ඉදිරිපස රැඳී සිටිමින් කිසියම් පොතක සමරු සටහන් තබමින් රසිකයන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදී ඉන්නා බව දුටිමි. කුටිය ඇතුලට ගොස් පොත් තෝරද්දී එතුමා එහි රැඳී සිටින්නට හේතුව කුමක් දැයි තේරුම් ගන්නට හැකි විය. ඒ නම් නවතම සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශණයක් වූ දවා හළු කළ නොහැක - ලූෂන් බුලත්සිංහල ගේ මතක කෘතිය යි. පොතේ මා ලබා ගත් පිටපතේ සමරු සටහනක් තබන්නටත්, එතුමා රචනා කළ වෙස්මූණ ගලවන්න නාට්‍ය පොතේ පිටපතක් සමරු සටහනක් ද තබා තිළිණ කරන්නටත්, මා සමග ඡායාරූපයකට පෙනී සිටින්නටත් එතුමා කාරුණික විය.

ලූෂන් බුලත්සිංහල ලියූ ගීත පිළිබඳ තොරතුරු සහ ගීත වලට පාදක වූ අනුභූතීන් ගැන පොතේ බහුල ලෙස සඳහන් වී ඇතැයි මා බලාපොරොත්තු වූ නමුත් එය එසේ නොවන බව පොත කියවන විට පැහැදිලි විය. කෙසේ වෙතත් එතුමා ලියූ ගීත සමහරකට සම්බන්ධ යැයි සිතිය හැකි සිදුවීම් කිහිපයක් ගැන පොතේ සඳහන් ව ඇත. එලෙස සඳහන් කර තිබෙන සිදුවීම් දෙකක්, එතුමා ලියූ, රෝහණ වීරසිංහ සංගීතවත් කොට ගායනා කළ, මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයට පාදක වී ඇති බවට අනුමාන කළ හැකි ය.


"කොහෙන්‌ ද ඔයා කෝල්‌ එක ගත්තෙ?"
"පෝස්ට්‌ ඔෆිස්‌ එකෙන්‌”
"මං එවපු ලියුම්‌ ලැබුණා ද?"
"ඔව්‌. ඔව්‌, මං කෝල්‌ කළේ මඟුල්‌ ගේකට එන්න කියන්න. කොළඹ නෙවෙයි. නුවර සිරිමල්‌ වත්තේ අපේ පුංචි නැන්ද බඳිනව. එන්න පුළුවන්‌ නේද? එක දවසක්‌ නිවාඩු ගන්න පුළුවන්‌ නේද?”
"පුළුවන්‌ පුළුවන්‌, මං කොහොම හරි එනව ඉතින්‌ කවද ද? මං කොහොම ද එන්නෙ, සිරිමල්‌ වත්ත කොහෙද කියලවත්‌ මං දන්නෙ නැහැනෙ,"
මා ආ යුතු කොහාට ද කොයි වෙලාවට ද එහි දි ඇය හමුවන ආකාරය ආදි සියලු විස්තර ඈ පැහැදිලි කළා ය.

බස්‌ රථය ලේ වැල්ලට විත්‌ නතර කරද්දී වටින්‌ ගොඩින්‌ ලා අඳුරත්‌ සමඟ හීන්‌ පොදවැස්සක්‌ වැටෙමින්‌ තිබුණේ ය. බස්‌ රථයෙන්‌ බැස මම හතර අත ඇය සොයා ඇස්‌ දෙක විහිදුවා බැලුවෙමි. මගේ අන්දමන්ද ස්වභාවය දැක ඇය සෙනග පොකුරක්‌ අතරින්‌ තනි කුඩයක්‌ ඉහළාගෙන පෙරට ආවා ය. ඇගේ ඥාති සොහොයුරා රණසිංහ ඇය පසුපසින්‌ ආවේ ය. ඔහු හඳුනාගන්නා ප්‍රථම දවස එයයි. ප්‍රියමනාප කතා බහකින්‌ යුතු ඔහු ඉතාමත්‌ කුලුපග ලෙස මා සමඟ කතා කළේ ය.
"එහෙනම්‌ නංගි දැන්‌ හරිනෙ. තව වැස්ස වැඩිවෙන්න කලින්‌ යන්න.”
කියමින්‌ රණසිංහ අපට සමුදුන්නේ ය. ඔහු පදිංචි ලේ වැල්ලේ ය. අපි දෙදෙනා කුඩේට මුවාවී යන අයුරු ඔහු බලා සිටිනවා පසුපස හැරී බැලු විට පෙනුණේ ය.

අඳුරුලලා මල්‌ වැසි වැටෙද්දි සිරිමල්වත්තට අප දෙදෙනා පිය මැන ගිය ගමන හදවතේ නිදන්‌ ගතවූ සොඳුරු මතකයකි. ඒ චමත්කාරය පසු කලෙක මගේ ගීවල ද සටහන්‌ විය.

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ


මේ සිදුවීම වෙන විට මගේ දියණිය ඉන්ද්‍රචාපා මගේ අතින්‌ අල්ලාගෙන පාරේ ඇවිදයාමට ආසා කළ වයසේ පසුවූවා ය. එදින මම ඇයව වෛද්‍යවරයාට පෙන්වීමට කිරුළපන මංසන්දියේ පිහිටි ඩිස්පෙන්සරියට රැගෙන ගියේ රෝගාබාධයකට ප්‍රතිකාර ලබා ඒ වන විට ඇය සුවය ලබා සිටි හෙයින්‌ තවදුරටත්‌ උපදෙස්‌ ගැනීම සඳහා ය. අපි ඩිස්පෙන්සරියේ සිටිය දී මඳ වැස්සක්‌ ඇදහැලී වැස්ස ද තුරල්‌ වී තිබුණි. කිරුළපන පාලම අසලින්‌ පාමංකඩ දෙසට විහිදි යන ස්ට්‍රැෆඩ්‌ මාවත දිගේ අප දෙදෙනා පාර අයිනට වී ඇවිදගෙන එමින්‌ සිටියෙමු. අප යන දෙසටම වේගයෙන්‌ ගිය කාර්‌ රථයක්‌ පාරේ දිය කඩිත්තක්‌ උඩින්‌ පැදයමින්‌ අප දෙදෙනා හීන්‌ මඩවතුර වැස්සකින්‌ නහවා ගියේ ය. පාරේ තදබදයක්‌ නොවූ බැවින්‌ ඒ දිය කඩිත්ත මඟහැර පැදවීමට ඕනෑ තරම්‌ ඉඩකඩ තිබුණේ ය. අප පසු කරද්දී වාහනයේ වම්පස ඉදිරි අසුනේ සිටි කාන්තාව මම දුටුවෙමි. ඒ මගේ ආදරණීය මිතුරිය යි. ඇය යන්තම්‌ හැරී බැලුවා ය. එය හිතා මතා කළා වෙන්නත්‌ බැරි නැත. වාහනය පැදවූයේ මගේ මිතුරියගේ සැමියා යි. අපේ සබඳකම්‌ රියසක දන්නේ නැතැයි මම හිත සනසා ගත්තෙමි.

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ