හුණුවටයේ කතාව සහ ගෲෂා

කිනිර | May 17, 2022

Wala
Der Kaukasische Kreidekreis නාට්‍යය ("The Caucasian Chalk Circle" in English) රචනා කල ජර්මානු ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) හිට්ලර්ගේ ආධිපත්‍යයට විරුද්ධව බොහොම ප්‍රබල ලෙස හඬ නැගූ කෙනෙක්. ඒ නිසාම එතුමාට 1933 දී ජර්මනියෙන් පිට වෙන්නට සිදු වෙනවා හිට්ලර්ගේ පලිගැනීම් වලට බියෙන්. මේ නාට්‍යය ඔහු අතින් නිර්මාණය වෙන්නේ 1940 දශකයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේදී. මේ පසුබිම නිසා මේ නාට්‍යයේ යුද්ධය සහ එහි කුරිරු කම ගැන විවේචනය කෙරෙනවා.

1960 දශකයේ අග භාගයේ හෙන්රි ජයසේනයන් විසින් මෙම නාට්‍යය හුණුවටයේ කතාව නමින් සිංහලට පරිවර්තනය කර නිෂ්පාදනය කරන්නට යෙදුනා. මේ නාට්‍යයේ, රජ මාලිගයේ මෙහෙකාරියක වන, යුද්ධයට යන සෙබලෙකුට පෙම් බඳින, ගෲෂාගේ චරිතය ගැන අපට මෑතකදී මතක් කර දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.

හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ.

ගෲෂා මේ නාට්‍යයේ ගායනා කරන ගීත කිහිපයක් තියෙනවා.
- යුදබටය යන යුදයට
- සතර දෙනෙක් සෙන්පතියෝ (සෙන්පතියන් සතර දෙනාගේ ගීතය)
- ගන්නෙ නැති නිසා කවුරුත්
- හෙල ගැඹුරුයි - පුත නොබලන් (වැල් පාලමේ ගීතය)
- අප්ප උඹේ හොරදෙටුවා
- පෙම්වතුන් යත යුදයට (යුදබිමේ ගීතය)

හුණුවටයේ කතා පුවත සහ ඉහත සඳහන් කළ ගීත අතුරින් "ගන්නෙ නැති නිසා කවුරුත්" යන ගීතයේ පදමාලාව රටේ වර්තමාන තත්වයට ගැලපෙන ආකාරය පුදුම සහගත ය. හුණුවටයේ කතා පුවතේ, පවතින රජයට විරුද්ධව නැගී ආ ජනතා කැරැල්ලක් නිසා රටම ගිනි ගත් අවස්ථාවක යුව රජ බිසවට දරුවාද අහිමිව පලා යන්නට සිදු වෙයි. එසේ මගහැරී ගිය දරුවා, රජ මාලිගයේ මෙහෙකාරියක වූ ගෲෂා බාරගන්නේ දරුවා බාර ගැනීමට වෙනත් කිසිවෙකුත් නොවූ නිසාවෙනි.

ගන්නෙ නැති නිසා කවුරුත්
පුතු උඹ මම අරගන්නව

ගීතයේ

මගෙ සිත බැඳුනාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ

යන්නෙන් පැවසෙන්නේ මීට කලින් පස් වතාවක්ම අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට විශේෂ කැමැත්තක් දක්වන බවක්ද?

ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද

යන්නෙන් අදහස් වෙන්නේ අගමැති ධුරය බාරගෙන එහි රැඳී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන වශයෙන් ඉතා ඉහල මිලක් ගෙවන්නට සිදු වී ඇති බවක්ද? එසේ නැතිනම් රුපියලට සාපේක්ෂව ඩොලරය ඉතා ඉහල අගයක පවතින අවස්ථාවක, ඩොලර් ණයට ගෙන ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලන්නට සිදුවී ඇති බවද?

සේද පිලී විසිකරලා
කඩමළු ඇඟ ඔතාලා
මම නුඹ උස්සන් යනවා
කරපින්නා ගෙන යනවා

යනුවෙන් පැවසෙන්නේ මේ වන විට අගමැති ධුරයේ කලින් තිබූ ගාම්භීරත්වය මෙවර නැති බව සහ තමන් අනෙක් අයගෙන් අපේක්ෂා කල සහාය නොලැබීම නිසා තනිවම ධුරය කරපින්නා ගෙන යාමට සිදුවී ඇති බවද?

හුණුවටයේ කතාවේ අවසාන කොටස ගැනද අපේ අවධානය යොමු විය යුතු යැයි මට සිතේ. නොයෙක් දුක් ගැහැට විඳිමින්, බාර ගන්නට කිසිවෙකු නොසිටි දරුවා ගෲෂා විසින් හදා ගන්නා නමුත්, අවසානයේ කැරැල්ල නිමාවී සියරට පැමිණි යුව රජ බිසව ගෲෂාට කියන්නේ දරවාගේ නිත්‍ය අයිතිකාරිය වන තමාට නැවත දරවා බාර දෙන ලෙසයි. අවසානයේ මෙය නඩු මාර්ගයෙන් තීන්දු කිරීමට සිදු වෙයි. වර්තමානයේද මෙලෙස සිදුවුනොත්, නඩුව සාධාරණව විසඳන්නට අසඩක් කෙනෙක් අපට සිටීද?

Walaහුණුවටයේ කතාව නාට්‍යයේ සියළුම ගීත රචනා කළේ හෙන්රි ජයසේනයන් වන අතර එහි සංගීත නිර්මාණය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගෙනි. නාට්‍යයේ ගෲෂාගේ චරිතය රඟපාමින් ගීත ගායනා කළේ මානෙල් ජයසේනයි. ගායන වෘන්දය විජේරත්න වරකාගොඩ ප්‍රමුඛ නිමල් ජයසිංහ, රංජිත් වාහලවත්ත, රොහාන් මැදිවක, රංජිත් යාපා ද අල්විස් සහ ටයිටස් සී. පෙරේරා යන අයගෙන් සැදුම් ලත් විය. නාට්‍යයේ ගීත ඇතුලත් වූ දීර්ඝ ධාවන ගී තැටිය තමාගේ "සංගීත" ලේබලය යටතේ නිෂ්පාදනය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතා විසින්.

හුණුවටයේ කතාව ගීත තැටියෙන් උපුටා ගත් "ගන්නෙ නැති නිසා කවුරුත්" ගීතය ඔබගේ පහන් සංවේගය පිණිස මෙසේ ඉදිරිපත් කරමි.