වල

කිනිර | July 4, 2021

Wala මනමේ 'නාටකයේ 'අභිරංගයක්‌' ඉදිරිපත්‌ කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම්‌ රංගභූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක්‌ පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස්‌ කරගත හැකි නම්‌ මැනවයි සිතමින්‌ හුන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබු ගෙවල්‌ තුනකින්‌ එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස්‌ බ්ලොක්‌ දෙසට යන මට, කඳු පල්ලේ වම්‌ පසෙහි වළන්‌ කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක්‌ නිතර දකිමි. එහි කලින්‌ තිබූ ලියදි වල්‌ බිහි වී දැන්‌ පඩි පෙළක්‌ මෙන්‌ සැදී ඇත. බෑවුමේ පතුළේ සමතලා භූමි භාගයක්‌ තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර ගෙන යන නමුත්‌ එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන්‌ රඟ මඬලක්‌ ගැන සිතමින්‌ හුන්‌ දවස්චල ය. එය, ඇම්ෆිතියටර්‌ (Amphitheatre) යන නමින්‌ හඳුන්වන ප්‍රෙක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින්‌ යුත්‌ තැනක්‌ නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුළේ සමතලා භූමිය සකස්‌ කරගත හොත්‌ එහි නාට්‍යයක්‌ රහ පෑ හැකි ය. ප්‍රේක්ෂකයින්ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය.

පෙනුම යෝග්‍ය වුව ද නාට්‍යයක්‌ රඟ දක්වන තැනක ශබ්ද විකාශනය (Acoustics) කෙසේ දැයි දැනගැනීම අවශ්‍ය ය. මම දෙතුන්‌ දෙනෙකු සමග සවස්‌ වරුවේ එතැනට ගියෙමි. ගුණසේන ගලප්පත්ති ද ඔවුන්ගෙන්‌ එක්කෙනෙක්‌ වී යයි සිතමි. කීප දෙනෙකු වලේ තැන්‌ තැන්වල හිඳුවා, ඔවුන්‌ ලවා කතා කරවීමි; සින්දු කියවීමි. එය ස්වාභාවික ශබ්ද විකාශනයෙන්‌ යුතු තැනක්‌ බව මට පෙනුණි. මට ග්‍රීසියේ ඵපීඩව්රස් ඇම්ෆිතියටරය මතක්‌ විය. එහි කොතැනක හෝ හිඳ ගිනිකූරක්‌ ගැසූවත්‌ අන්‌ හැම තැනකට ම ඇසේ.

එහෙත්‌, ප්‍රේක්ෂාගාරය හා රඟ මඬල සාදවාගන්නේ කෙසේ ද? නඩත්තු අංශයට හෝ පාලන අංශයට එබඳු නියෝගයක්‌ කිරීමේ බල පුළුවන්කමක්‌ මට නොවී ය. පාලන අංශය යටත්‌ වන්නේ උපකුලපතිවරයාගේ හෝ ලේඛකාධිකාරී තැනගේ නියෝගවලට පමණි. මා කියන තැන අංග සම්පූර්ණ ඇම්ෆිතියටරයක්‌ වුව කිරීමට යන වියදම අල්ප ය. කළ යුතු ව තිබුණේ කඳු බෑවුමේ වල්‌ කපා හැර, පතුළේ මණ්ඩලාකාර පෙදෙසක්‌ සිමෙන්තියෙන්‌ වසා, පිටුපස තාවකාලිකව පොල්‌ අතු මඩුවක්‌ තැනීම පමණි.

මේ අදහස උපකුලපතිවරයාට කීවොත්‌ ඔහු එය අනුමත කරාවි ද? එකල උපකුලපති ධුරය දැරුවේ සර්‌ නිකලස්‌ ආටිගල ය. ඔහු, අපේ ඉංග්‍රීසි කතා කරන ඉහළ පංතියේ වෙනත් අය මෙන්‌, කලාවිහීණයෙක්‌ වූයේ ය. උපකුලපති වීමට පෙර ඔහු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු වූ නමුත්‌, අල්පශ්‍රැත වූයේ ය. නාට්‍යය, සාහිත්‍යය, සංගීතය ආදිය කෙරෙහි ඔහුගේ අල්පමාත්‍රයකවත්‌ අභිලාෂයක්‌ නොතිබුණි. වෛද්‍ය පොත්‌ හැරෙන්ට අන්‌ කිසිවක්‌ ඔහු බැලුවේ දැයි මම නොදනිමි. 'මනමේ' යන නමින්‌ යුත්‌ නාට්‍යයක්‌ තමාගේ ආචාර්ය මණ්ඩලයේ සිටින, සරච්චන්ද්‍ර යන නමින්‌ යුත්‌ කෙනෙකු විසින්‌ නිෂ්පාදනය කරන ලදුව, රසිකයින්ගේ සිත්‌ ගෙන ඇතැයි ඔහුට පළමු වරට දැනගන්ට ලැබුණේ, දිනපතා ඔහුගේ මේසය ඉදිරියෙහි වාඩි වී ඔහු සමග අනංමනං, ඕපා දූප දොඩමින්‌ සිටින ආචාර්ය කණ්ඩායමගෙනි. 'මනමේ' යනු කුමක්‌ දැයි කිසි කලෙක නාට්‍යයක්‌ බලා නොතිබුණු ආටිගල මහතාට අවබෝධ කරගැනීම උගහට විය. ඔහුට අවබෝධ කරගන්ට වුවමනාචක්‌ ද නොතිබුණි. එහෙත්‌ ආචාර්යවරුන්ගේ පෙරැත්තය නිසා ඔහු මා කැඳවා, මා කර තිබිණැයි ඔහුට ආරංචි වී තිබෙන මේ අරුම පුදුම වැඩේ කුමක්‌ දැයි විමසීය. එය එතරම්‌ ආශ්චාර්යයක්‌ නොව නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීම පමණකැයි මා කියූ විට, 'එහෙනං මේ ගොල්ලො මේ හැටි වර්ණනා කරන්නෙ? කොහොම හරි මට බලන්නයි කියන්නෙ? විශ්වවිද්‍යාලය ඇතුළෙ ඒක පෙන්වන්න පුලුවන්‌ ද?' යි ඇසීය. විශ්වවිද්‍යාලය තුළ රඟහලක්‌ නැති බැවින්‌ අසවල්‌ තැන සකස්‌ කරවා දිය හැකි දැයි මම ඇසීමි. ඔහු වහා නිලධරයන්‌ කැඳවා, නොපමාව එළිමහන්‌ රඟමඬලක්‌ මා කියන තැන සාදා දිය යුතුයයි ඔවුන්ට නියෝග කෙළේ ය. නිලධාරීහු දෙකට තුනට නැවී, දුව ගොස්‌ වල්‌ කප්පවා, පොළොව තළවා, සිමෙන්තියෙන්‌ වටකුරු රඟ බිමක්‌ තනවා, මඩුවක්‌ බන්දවා ඇම්ෆිතියටරය දෙතුන්‌ දවසකින්‌ නිමවා දුන්නාහු ය.

උපකුලපතිවරයා ද, සමහර ආචාර්යවරුන්‌ ද, රොක්ෆෙලර්‌ මූල්‍යාතනයේ ගිල්පැට්රික්‌ මහතා ද, ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ ද, අවට ගම්වලින්‌ පැමිණි ජනතාව ද හමුවෙහි එදා මනමේ නාටකයේ ප්‍රථම ආඥාපිත රංගය ඉදිරිපත්‌ කරන ලදී. වරින්‌ වර වල්‌ බිහි වී කැලෑව විසින්‌ ගිලගන්නා ලදු ව, යළි කලඑළි කොට ඉඳහිට පාවිච්චියට ගන්නා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එළිමහන්‌ රඟමඬල විවෘත වූ දිනය ද එදා ය. 'මනමේ' බිහි වූයේ 1956 නොවැම්බර්‌ මස 8 වෙනි දා ය. එය එළිමහන්‌ රඟ මඬලේ, සාම්ප්‍රදායික නාඩගම්‌ රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාත්‍රියක ය.

(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර, 164-167 පිටු)