මනමේ සහ රෂොමොන්
කිනිර | June 26, 2021
මනමේ කතාව වසයෙන් අප අතර ප්‍රකට චූ ජන කතාව, ජාතක පොතෙහි එන චුල්ලධනුග්ගහ ජාතකය යි. එහි එන කුමාරයාගේ නම චුල්ලධනුද්ධර ය. ගැමි කතාවෙහි ඔහුට මනමේ කුමාරයා යන නම දී තිබේ. මේ නම කෙසේ ඇති වූචක් දැයි කිව නොහේ. මනමේ කතාව, ලංකාවේ දකුණු පළාතේ ගම්වල කෝලම් ශෛලියෙන් ද, කවි නාඩගම් ශෛලියෙන් ද ඉදිරිපත් කරනු ලැබේ. එම ශෛලීන් දෙකෙන් ඉදිරිපත් කරන සඳකිඳුරු කතාව, චන්දකින්නර ජාතකයෙන් ය. මේ නාට්‍ය දෙක පතිවෘතය රැකීමේ අනුහස් හා එය බිඳීමේ අනිෂ්ට ඵල විපාක දැක්වීම පිණිස එක රාත්‍රියක රඟ දක්වනු ලැබේ.
මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකි ය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහි දී හෝ අමෙරිකාවෙහි දී අකිරා කුරොසව විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 'රෂොමොන්' නම් චිත්‍රපටිය බැලීමෙන් පසු ය. 'රෂොමොන්' චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ, අකුතගව නම් කතුවරයාගේ කථාවකි. මේ කථාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ලධනුග්ගහ ජාතකයටත්, මනමේ ගැමි කතාවටත් සමාන ය.
එක්තරා රදළයෙක් තම තරුණ බිරිඳ අසු පිට නංවාගෙන, කැලයක් මැදින් යන විට සොර දෙටුවෙකුට හසු වී, ඔහු විසින් ස්ත්‍රියට බලහත්කාරකමක් කොට, පුරුෂයා මරා දමන ලදී. මේ මූලික සිද්ධිය පස් දෙනෙක් පස් විදියකට විස්තර කරති.
පළමුවැන්නා කැලේ දර කපන්නෙක් ය: කැලේ පඳුරක් අස්සේ මිය ගිය තැතැත්තාගේ මිනිය, උඩුබැලි අතට බාවා තිබුණු බව ද, ඔහුගේ පපුව කඩු පහරකින් පසාරු කොට තිබුණු බව ද, ළඟපාත තණ කොළ පොඩි වී තිබුණු නිසා මිනිසා මැරෙන්ට ඉස්සර පොර බදන්ට ඇතැයි තමා සිතන බව ද ඔහු කියයි. මිය ගොස් ඇති රදළයා හඳුනාගන්නා බෞධ භික්ෂුවක්, ඔහු රූමත් ගැහැනියක තමා පිටු පසින් හිඳුවාගෙන අශ්චයෙකු පිටින් කැලෑව තරණය කරනු තමා දුටු බව පවසයි. සොර දෙටුවා අත් අඩංගුවට ගත් පොලිස් භටයෙකු කියන්නේ, ඔහු ප්‍රසිද්ධ මං පහරන්නෙකු බවත්, ඔහු අල්වන්ට තමා කීප වරක් වෑයම් කළ නමුත්, බැරි වූ බවත් ය. මියගිය තැනැත්තා ඉතා මෘදු, කරුණාර්ද්‍ර හදවතක් ඇති කෙනෙකු බව, ඔහුගේ බිරිඳගේ මහලු මව කියයි.
සොර දෙටුවාගේ සාක්ෂිය වැදගත් වේ: තමා ස්ත්‍රිය දැක ඈ කෙරෙහි රාගොන්මත්ත චූ බවත්, පුරුෂයා මරා හෝ ඇය හා සමහම් සුවය විඳින්ට සිතූ බවත් කියන සොර දෙටුවා, සැමියා නොමරා තම අභිප්‍රාය ඉටු කර ගත්තොත් වඩා මැනවැයි තීරණය කොට, ඔවුන් දෙදෙනා රවටා තනි පෙදෙසකට ගෙන ගොස් පුරුෂයා ගසක බැඳ තබා, ඔහු බලා සිටිද්දී ස්ත්‍රිය බලාන්කාරයෙන් ලෝකාස්වාදයට යොදා ගත් බව පවසයි. එහෙත් ඇය අවනත කිරීමට පෙර සැමියා ගසක බැඳ සිටිනු දුටු ඇය, බෙහෙවින් කෝපාවිෂ්ට වී ළභ තුබූ කිරිච්චියක් ඇද තමා මරන්ට නැත්
කළ බවත් ඔහු පවසයි. තමාගේ කාමාශාව සංසිඳුවාගත් පසු, සොරා ගැහැනිය දමා යන්ට සැරසේ. එහෙත් ඈ ඔහුගේ ඇඟේ එල්ලී, 'එක්කො මාව නැත්තං මගේ සැමියාව මරන්න' යි අයැද සිටී. 'මිනිස්සු දෙන්නෙක් දැනගෙන ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි' කියල ඈ කිව්ව. 'දෙන්නගෙන්, ජීවත් වෙන කාගෙ හරි බිරිඳ වෙන්න මම කැමති යි.' ස්ත්‍රියගේ සැමියා මරා, ඇය බිරිඳ කරගන්ට තමාට සිතුණේ එවේලේ යයි සොර දෙටුවා කියයි. එබැවින් ඒ පුරුෂයා මුදවා ඔහුට තමා හා සටනට එළඹීමට අභියෝග කළ බවත්, සටනින් තමා ජයගත් බවත් ඔහු කියයි. එහෙත් ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා මරා අවට බලන විට, ගැහැනිය එතනින් පලා ගොස් බව ඔහුට පෙනේ.
ස්ත්‍රිය එක්කරා දේවස්ථානයකට ගොස් තමාගේ කතාව මෙසේ කියයි: 'සොර දෙටුවා මා දූෂණය කොට ගිය පසු, මම මගේ ස්වාමියා දෙසට ගියා. එහෙත් ඔහුගේ මුහුණේ තුබූ පෙනුම ඉවසන්ට බැරි වුණා. කටේ කෙල පිරී තිබුණු නිසා ඔහුට කතා කරන්ට බැරි වුණාට, ඔහුගේ බැල්මෙන් මට පෙනුණා ඔහුගේ සිතේ තිබුණේ කෝපය වත් ඊර්ෂ්‍යාවත් නොව පිළිකුළ බවයි. ඔහුගේ ඇස්වලින් කියවුණේ 'මාව මරපන් - මාව මරපන්' කියලයි. 'දැන් සිද්ධ වුණු දේ හැටියට මට ඔබ සමග තවත් ජීවත් වෙන්න බෑ. මමත් මැරෙන්න ඕන, ඔබත් මැරෙන්න ඕනා.' 'මාව මරපන්' කියා ඔහුගේ පිළිකුල් බැල්මෙන් දිගටම කියවුණා. මම කිරිච්චිය ගෙන ඔහුට ඇන මැරුවා.
අවසාන විස්තරය කෙරෙන්නේ රදළයාගේ මළ ගිය ප්‍රේත ආත්මය විසිනි. 'සොර දෙටුවා මගේ බිරිඳ දූෂණය කොට, ඈට මෙසේ කීවා: 'ඔබේ පතිචත බිඳුණාට පසු ඔබට සැමියා සමග තවත් ජීවත් වෙන්ට බෑ. ඔබ මා සමග එන්ට ඕන. බිරිඳ ඊට එකඟ වී සොරා සමග මඳක් දුර ගොස් හැරී බලා මාව මරන්ට යයි සොර දෙටුවාට ආයාචනා කළා. සොරා ඇය කෙරෙහි කෝප වී ඇය මරන්ට සැරසුණා. එහෙත් ඈ පැන ගියා. මම කඩුව ඇද දිවි නසාගත්තා.'
මේ කථාව මනමේ කතාවට වඩා බෙහෙවින් සංකීර්ණ බව කාට වුව ද පෙනෙනු ඇත. එහෙත් එයින් මට, මනමේ කතාවෙහි නොකියවුණු බොහෝ දේ අවබෝධ විය. වැදිරජුගේ චරිතය මැවීමට මට ලැබුණු ඉඟිය වැදගත් යයි කිව යුතූ ය.
තවත් අතකින් මට 'රෂොමොන්' කථාවෙන් ආදර්ශයක් ගත හැකි විය. මුල් ජාතකයෙහි හා ගැමි නාටකයෙහි නම් බිසවගේ චරිතය දක්වා ඇත්තේ පති ද්‍රෝහි වූ ගැහැනියකගේ මෙන් ය. මට උවමනා කෙළේ එහි නිරූපිත සිද්ධිය වෙනස් අයුරකින් විවරණය කිරීමට ය. වනාන්තරය මැදින් යන විට, තම ස්වාමියා කෙතරම් දක්‍ෂ ධනු ශිල්පියෙකු වුව ද, ඔහු කෙරෙහි ඇගේ විශ්වාසය මඳක් සසල වේ. වනයේ අවිනිශ්චිත අතුරු ආන්තරාවලින් තමා ආරක්‍ෂා කිරීමට ඔහුට හැකි වේ දැයි ඈ තුළ සැකයක් උපදි. ඒ වේලාවෙහි, වනයේ ප්‍රතිමුර්තියක් බඳු වූ වැදි රජ කෙනෙක් කොහෙන් දෝ ප්‍රාදුර්භත වේ. ඔහු දැකීමෙන් ඇගේ සිත අස්වැසේ. ඔහු මැරීමට තම සැමියාට කඩුව දෙන්ට ඈ පැකිළෙන්නේ මේ හෙයිනි. එහෙත් ඔහු මරුමුවට පත් වූ පසු, ඈ වැදිරජුට කියන්නේ ඔහු දුටු විගස තම සිත ඔහු කෙරෙහි ඇලුණු බව ය.
'රෂොමොන්' හි මෙන් සත්‍යය අවිනිශ්චිතව තැබීමට මම අදහස් කෙළෙමි. ඒ කථාවෙහි මෙන්, මනමේ නාට්‍යයෙහි ද, සිදු වූයේ කුමක් දැයි ප්‍රේක්‍ෂකයාට තමා කැමති අයුරින් සිතාගැන්මට ඉඩ තිබේ. බිසව වැදි රජුට එසේ කීවේ ස්වකීය ආරක්ෂාව සඳහා ද? සිය සැමියාගේ මරණින් පසු වනාන්තරයෙහි ඈට කිසිවෙකුගේ පිළිසරණක් නැත - වැදි රජුගේ මිස. ඇගේ සැබෑ සිත හෙළි වන්නේ ස්වාමියා මළ විගස ඈ වැදි රජුට චෝදනා කරන මොහොතෙහි ද?
කෙසේ වෙතත්, වැදි රජු මුණ ගැසෙන අවස්ථාව සංකීර්ණ එකකි. ජාතක කථාවෙහි නම් ඈ එක හෙළා වැදි රජුට කඩුව දෙයි - ස්වාමියා මැරීම පිණිස! එහි බිසවගේ සිත විග්‍රහ කොට තිබෙන්නේ සරල අයුරිනි. ස්ත්‍රියගේ චරිතය පිළිබඳ සුලබ, ගතානුගතික ආකල්පයක් අනුව!
(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර, 152-155 පිටු)
මනමේ යුවල වැදි රජු හමුවීම සහ සිදුවීම් පෙළ අඩංගු වන්නේ සංගීත සමාගම විසින් නිෂ්පාදනය කළ තැටි යුගලයේ දෙවැනි තැටියේ පළමුවැනි පැත්තෙහි ය. මේ ඒ කොටසයි.
'රෂොමොන්' චිත්‍රපටය බලා නැති කෙනෙක් එය බලන්නටත්, (බලා ඇති කෙනෙක් එය නැවත බලන්නටත්), Internet Archive වෙබ් අඩවියට පිවිසෙන්න. https://archive.org/details/Rashomon1950_201905