පුතු සෙනේ පිතු හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ

කිනිර | June 20, 2021

Sinhabahu

පියවරුන්ගේ දිනය ලෙස නම් කෙරෙන අද දවසේ, පියවරුන් ගැන කියැවෙන, නිතර නෑසෙන ගීත ගැන කල්පනා කරන විට මගේ මතකයට නැඟුනේ සිංහබාහු නාඩගමේ එන "පුතු සෙනේ පිතු හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ" නම් ගීතයයි.

සිංහබාහු කතා පුවත ප්‍රබන්ධයක් වුවද, බොහෝ දෙනා එයට මහත් ලෙස ඇලුම් කරන්නේ, සැබෑ කථා පුවතක් තරමටම, සනාතන ලෝක ධර්මතා මනා ලෙස පිළිබිඹු වන අයුරින් සරච්චන්ද්‍රයන් විසින් එය ප්‍රබන්ධ කර ඇති නිසා විය යුතුය.

Sinhabahu

සදාතනික පිය-පුතු ගැටුම කථාවේ ප්‍රධාන තේමාව වන නමුත්, පවුලක සියළු සාමාජිකයන් අතර ඇති වන බැඳීම් සහ ගැටීම් මෙන්ම, ඒ බැඳීම් සහ ගැටීම් හේතු කොටගෙන ඔවුන් තුළ ජනිත වන හැඟීම්ද අපට පෙන්වා දෙන්නට සරච්චන්ද්‍රයන් සමත් වී ඇත. පියවරුන් සහ පුතුන් අතර ඇති දුරස්ථ භාවය, පියවරුන් සහ දියණියන් අතර ඇති බැඳීම, මවුවරුන් සහ පුතුන් අතර ඇති බැඳිම ආදිය ගැන කියැවෙන ගීත සමූහයකින් සිංහබාහු නාඩගම සමන්විත ය.

පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදා කල් නැත දුක් දෙවන්නේ

සිංහබාහු නාඩගම අවසානයේදී ගැයෙන මේ පද පෙළට වස්තු බීජය වී ඇත්තේ විනය පිටකයේ මහාවග්ග පාලියෙහි සඳහන් පුවතක් බව සරච්චන්ද්‍රයන් විසින් තම "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි සඳහන් කර ඇත. (පසු සටහන බලන්න).

1983 දී සින්ග්ලංකා සමාගම විසින් නිකුත් කළ සිංහබාහු නාඩගම කැසට් යුගලයේ දෙවැනි කැසට් පටයෙන් උපුටා ගත් සිංහබාහු නාඩගමේ අවසාන කොටසයි මේ.

පසු සටහන:

(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර, 177-179 පිටු)

මේ මතක සටහන්‌ ලිවීමේ කාර්යය මෙතනින්‌ නතර කරන්ට මට සිතේ. මක්‌ නිසා ද යත්‌ අප්‍රසන්න සැමරුම්‌ රාශියක්‌ මගේ සිතට නැග එන බැවිනි. මගේ ජීවිතයේ අඳුරු අවධියක්‌ එළඹුණි. කලා ශිල්ප හා සෞන්දර්යය පසු පස මා එළවා යමින්‌ සිටි අතර, මගේ ගෘහ ජීවිතය කෙමෙන්‌ බිඳ වැටෙන්ට විය. ඒවායේ හේතු ප්‍රත්‍ය විග්‍රහ කරන්ට යාම නිෂ්ඵල වෑයමක්‌ යයි සිතමි. මා හඳුනන්නවුන්‌ මේ සම්බන්ධයෙන්‌ වාද විවාදවල යෙදුණු බව මම දනිමි. එය මගේ වරදින්‌ සිදු වුවක්‌ යයි සමහරු කීහ. සමහරු මගේ බිරිඳගේ වරද දැක්වූහ. එහෙත්‌ මෙවැනි අවස්ථා බෙහෙවින්‌ සංකීර්ණ ය. ඒවා සරල විග්‍රහවලට හසු නොවේ. කාගේ වරද දැයි සොයන්නේ එබඳු සරල විග්‍රහයකින්‌ තත්වය වටහා ගත හැකැයි සිතන්නවුන්‌ විසිනි. එය කාගේ වත්‌ වරදක්‌ නොවන්ට පුළුවන. අනික්‌ අතට දෙදෙනාගේ ම වරද විය හැකි ය.

අවුරුදු විස්සක්‌ මුළුල්ලේ පැවතුණු විවාහ බන්ධනයක්‌ බිඳීම එසේ මෙසේ දෙයක්‌ නොවේ. එය බිඳෙන්ට ප්‍රකට හේතුවක්‌ ද පෙන්විය නො හැකි විය. මම අභීෂ්ට(1) ජීවිතයක්‌ පිළිබඳ සිහින දකිමින්‌ කල්‌ ගෙවීමි. එය මිරිඟුවක්‌ බව මට දැන්‌ පසක්‌ වී ඇත. මම අවුරුදු ගණනාවක්‌ ම කිසිදු පියවරක්‌ නොගෙන දෙගිඩියාවෙන්‌ හුන්නෙමි. ඒ කාලය තුළ මා සතුටින්‌ දවස්‌ ගෙවූයේ යයි මගේ බාහිර ප්‍රකෘතියෙන්‌ කෙනෙකු නිගමනය කරන්ට ඇනි නමුන්‌, අභ්‍යන්තර වසයෙන්‌ මම මහත්‌ සන්තාපයකින්‌ පසු වීමි.

මගෙන්‌ වෙන්වීමට මගේ බිරිඳට වුවමනා වූයේ නැත. ඈ පේරාදෙණි නිවාසය හැර කොළඹට ගියේ, තමා නුරුස්සන ගතිය මා කෙරෙන්‌ කල්‌ යාමේ දී දුරු වේය යන බලාපොරොත්තුවෙන්‌ ය. මම කලක්‌ අරුණාචලම්‌ ශිෂ්‍ය නිවාසයෙහිත්‌, කලක්‌ මහකන්දේ අවිවාහක සගයෙකුගේ ගෙදරත්‌ විසීමි. එහෙත්‌ මම සති අන්තවල දී බිරිඳන්‌, ළමයිනුන්‌ බැලීමට ආවෙමි. මගේ බිරිඳටත්‌, ළමයින්ටත්‌ තමන්ගේ අලුත්‌ ජීවිතය පටන්‌ ගැනීමට වුවමනා කරන දේ සපයා දුන්නෙමි. කඩේට ගොස්‌ කෑම බීම ආදිය ගෙනැවින්‌ තැබීමි. අවශ්‍ය වූ විට ළමයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුනිමි.

මගේ බිරිඳ ස්වාධීන ගති පැවතුම්‌ ඇති දක්ෂ ස්ත්‍රියක්‌ වූවා ය. ළමයින්‌ බලා කියාගෙන ඈට තනියම ජීවත්‌ විය හැකියි මම විශ්වාස කෙළෙමි. අප දෙදෙනාට, උනුන්‌ කෙරෙහි වෛර නොබැඳ, තම නමන්ගේ ජීවිත - තම නමන්ට රුචි පරිදි හැඩගස්වාගත නොහැකි දැයි මම සිතීමි.

මා තනියෙන්‌ පේරාදෙණියෙහි වෙසෙද්දී ය, මට 'සිංහබාහු' නාඩගම ලියන්ට සිතුණේ. එහි නිරුපණය වන්නේ Romantic Love පිළිබඳ සිහිනයක්‌ බිඳී යන සැටිත්‌, දරුවන්‌ වැඩිවිය පැමිණ ස්වාධීන ව සිතන්ට පටන්‌ ගන්‌ විට, පවුලේ ඇලුම්‌ බැඳුම්‌ විපරියාසයට භාජනය වන සැටිත්‌ ය.

එහෙත්‌ සිංහබාහු නාටකයේ වස්තු බීජය මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ, එය රචනා කිරීමට අවුරුදු දහයකට පමණ උඩ දී ය. ඒ අවස්ථාවෙහි මා එය ගුණසේන ගලපපත්තිට කියනු මට මතක ය.

ඒ වස්තු බීජය නම්‌ විනය පිටකයේ, මහාවග්ග පාලියෙහි සඳහන්‌ පුවතක්‌ ය. එ කුමක්‌ ද යත්? බුදුරජාණන්‌ වහන්සේ කපිල වස්තු පුරයට වැඩම කළ අවස්ථාවෙහි උන්වහන්සේ විසින්‌ නන්ද කුමාරයන්‌ මහණ කරන ලදී. ඉනික්බිනි වැ යසෝධරා දේවීන්‌ වහන්සේ විසින්‌ 'තෙර තොපගේ පියාණන්ගෙන්‌ තොපගේ දූයාදය ඉල්ලව'යි රාහුල කුමාරයන්‌ යවන ලද කල්හි, බුදුරජාණන්‌ වහන්සේ විසින්‌ රාහුල කුමාරයෝ ද මහණ කරවන ලදහ. ඉක්බිති ව සුද්ධෝදන මහ රාජණන්‌ වහන්සේ බුදුරජාණන්‌ වහන්සේ වෙනට ගොස්‌ කියන්නාහු 'ස්වාමීනි, නුඹ වහන්සේ ගිහි ගෙයි හැරපියා ගිය දා මට දුක බොහෝ විය. නන්ද කුමාරයන්‌ මහණ වූ දා ද එසේ ම විය. රාහුල කුමාරයන්‌ මහණ වූ දා වඩාලාත් එසේ විය. පුත්‍ර ප්‍රේමය වනාහි හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තෙක්‌ කිඳා බැස එහි රැඳී සිටි... අද මට උපන්නාවූ දරු ශෝකය, දරුවන්‌ වැදූ සියලු දෙමවුපියන්ට නොවනු කැමැත්තෙමි. මට ම අනුග්‍රහ නිසා නුඹවහන්සේගේ ශාසනයෙහි මවුපියන්‌ අනුනොදන්නා මහණ කරවිය නොහැක්කේ ය යන ශික්ෂා පදයකින්‌ වරයක්‌ මට දුන මැනවැ' කීය.

පුත්‍ර ස්නේහය පිළිබඳ ව මෙසේ කියන ලද වචන මගේ සිතෙහි රැව්‌ දුනි. එය සිංහබාහු කථාවෙන්‌ දැක්විය හැකියි මම සිතාගෙන උන්නෙමි. සිංහබාහු නාටකයෙහි ආරම්භයෙහි,
"පුතු සෙනේ මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා"
යි පොතේ ගුරුන්ගේ මුවින්‌ ප්‍රකාශ වීමට මා සලසා ඇත්තේ මේ හැඟීම්‌ ම ය.

1. අභීෂ්ට - වි‍ශේෂයෙන් කැමති වූ, රුචි කළ; වඩාත් කැමති වූ