විමලා අමරදේව

කිනිර | March 11, 2021

Sasara Wasana Thuruබෝලන්දගේ විමලා ගුණරත්න උපත ලද්දේ 1934 දෙසැම්බර් 5 වෙනිදා, එනම් අමරදේවයන් උපත ලබා හරියටම අවුරුදු 7 කට පසුවය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විමලා, නර්තනය හැදෑරීම සඳහා රජයේ ලලිත කලායතනයට ඇතුලත් වූවා ය. 1952 දී ඇරඹුණු නර්තන විද්‍යාලයේ ඇස් පණීභාරතයන්ගේ පළමු සිසු කණ්ඩායමට ඇයද එක් විය. 1953 වසරේදී අමරදේව ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබාගැනීම සඳහා පැවැත්වුණු කලා උළෙලකදී පණීභාරතයන්ගේ නර්තන කණ්ඩායමේ සිසුවියක ලෙස එක්ව සිටි විමලාට අමරදේවයන්ගේ ගෙලට මල් මාලයක් පළඳන්නටද අවස්ථාව ලැබිණ.

අමරදේවයන් විශාරද උපාධිය ලබා ඉන්දියාවේ සිට ආපසු පැමීණ, දේශීය සංගීතය සම්ප්‍රදායක් බිහිකිරීමේ අරමුණෙන් මෙරට විවිධ ජන ගී අධ්‍යයනය කරන කාලයේ රජයේ ලලිත කලායතනයේ නර්තන අංශයටත් නිතර පැමිණියේ එම අධ්‍යයනයේ කොටසක් හැටියටය. එලෙස පැමිණි එක් දිනයක විමලා පැදුරු මාලයේ කවි වලින් එකක් ගායනා කරනු අසන්නට ලැබුණු අමරදේවයන් එයින් මෝහනයට පත් විය. අමරදේව සහ විමලා ප්‍රේමයේ පදනම ද එය යි.

1961 දී අමරදේවයන් චිත්‍රසේනයන්ගේ නළ දමයන්ති මුද්‍රා නාටකයට සංගීතය නිර්මාණය කරමින් සිටියේ ය. එහි මංගල දර්ශණය සඳහා විමලාවන්ට ඇරයුම් කළ අමරදේවයන් නාට්‍යය අවසානයේ තමා හමු වී යන ලෙස ද කියා තිබිණි. නමුත් අමරදේවයන් ඈත කඳුකර හිමව් අරණේ ගීතය ගායනා කරනු අසා එයින් දැහැන්ගත වී සිටි ඇය, අමරදේවයන් හමු නොවී ම ආපසු ගියේය. පසු දින විමලාගේ නිවසට ගිය අමරදේවයන්ට ඇය කීවේ ගීතයෙන් දැහැන්ගත වූ බවත්, අමරදේවයන්ට කතා කරන්නට යෑමෙන් ගීතයේ දැහැන බිඳෙන්නට ඉඩ දෙන්නට ඇය මැළි වූ බැවින් කෙලින් ම ගෙදර ආ බවත් ය.

අමරදේවයන් සහ විමලාවන් විවාහ වූයේ 1963 අගෝස්තු 27 වැනි දින යි. ඇය පවසන්නේ අමරදේවයන් හා විවාහ වන විට තමාගේ කාර්ය භාරය කුමක්දැයි යන්න පැහැදිලි ලෙස අවබෝධ කරගෙන සිටි බවයි.

අමරදේව මහත්තයාව ලෝකයට දුන්න දෙවියන්‌ එතුමාව බලා ගන්න මාවත්‌ මැව්වා කියලයි මට හිතෙන්නේ. විවාහ ගිවිස ගැනීමට අමරදේවයන්ගෙන්‌ ආරාධනාවක්‌ ලැබුණු මොහොතේ, සතුටකට වැඩියෙන්‌ මට දැනුණේ බරපතළ වගකීමක්‌. ඇයි ඉතින්‌ ඒ මේ වගේ ගාන්ධර්වයකුට ආදර සැලකිලි දක්වන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව මට හැඟුණා. අපේ විවාහයත්‌ ගාන්ධර්ව විවාහයක්ම තමයි. උත්සව නැහැ... පෝරු නැහැ... විවාහ වෙලා අපි දෙන්නා අපි දෙන්නගෙ ගෙවල්වලට ගියා. පස්සෙ ඉන්න තැනක්‌ සූදානම්‌ කරගෙන එහෙම තමයි අපි එක වහලක්‌ යටට ආවේ. මම හිතාගෙන ඉන්නෙ රන්‌ ජුබිලියටවත්‌ පෝරුවක නැඟලා පොඩි උත්සවයක්‌ ගන්න.

කැසට් මුදලාලිලා විසින් සල්ලි මිටි පෙන්වා ප්‍රබුද්ධ ගායක ගායිකාවන් සමහරක් සන්ෆ්ලවර් රැල්ලට පොළඹවා ගන්නට සමත් වූ නමුත් අමරදේවයන් පොළඹවා ගන්නට ඔවුනට නොහැකි වූයේ විමලාවන්ගේ මැදිගත් වීම නිසා බව ද ප්‍රකට කරුණක්.

කැසට්‌ ගහන්න සල්ලි මිටිය අතට අරගෙන ආපු අයත්‌ හිටියා. එතකොට මේ ගේ බාගෙට හදලා තියෙද්දිත්‌ මං විරුද්ධ වුණා. මං හිතන්නේ අමරදේව මහත්තයා අපේ රටට පහළ වූ සම්පතක්‌ කියලයි. ඉතින්‌ අපේ බඩ පුරවන්නයි, අපිට සැප සම්පත්‌ දෙන්නයි කියලා මහත්තයව ඕනෑම තැනකට යවන්න මං කැමැති නෑ.

අමරදේවයන් වෙනුවෙන් කැප වී තම ක්ෂේත්‍රය වූ නර්තනයෙන් සහ රංගනයෙන් පවා ඈත් වුණු ඈ වැනි බිරින්දෑ වරුන් සුලභ නොවේ. කෙසේ නමුත් ඇය අමරදේවයන් සමග ගායනා කළ යුග ගීත අතළොස්සක් සහ ගුවන් විදුලියේ ජන සංගීත වැඩ සටහන් වලට ගායනා කළ ජන ගායනා සීමිත ප්‍රමාණයක් ද ඉතිරි වී තිබීම සතුටට කරුණකි. 1963දී තිරගත වූ සිකුරු තරුව චිත්‍රපටය සඳහා තම ගුරුවරයා වූ ඇස් පණීභාරතයන් සමගින් විමලා ගුණරත්න හිම ගිරි කුළු මුදුනේ නම් වූ ගීතය ගායනා කළා පමණක් නොව රංගනයෙන්ද දායක විය. මේ ගීතය HMV WN 734 අංකය දරණ ග්‍රැමපෝන් තැටිය ලෙස ද නිකුත් වී ඇත. පසු කලෙක ඇය ගුවන් විදුලියේ ජන සංගීත වැඩසටහනකදී මේ ගීතය තනිවම ගායනා කළා ය.

හිම ගිරි කුළු මුදුනේ
සිහිල පවන හමන ලතාවයි
පිබිදුණු මල්‌ අතරේ
රමන බමන බමර ලතාවයි

දෙවඟන උකුළු තලේ
සැලෙන නැටෙන මෙවුළු ලතාවයි
(දිව සළු විදෙන බඳේ
පිරුණු ළමැද නැටෙන ලතාවයි

නළියන නෙත්‌ සඟලේ
බැලුම්‌ හෙළන ඔමරි ලතාවයි)
සුබොළඳ කුමරි වගේ
පිපෙන කුසුම නාරි ලතාවයි

(තපසුන්‌ දුටු විගසේ
දැහැන්‌ මුදන කාම ලතාවයි
යන එන ලැසි ගමනේ
නිකරු නිතඹ ලලිත ලතාවයි)

රන්‌ රසු දැල්‌ බැන්ද කිංකිණී - හඬ
දිදී නටයි මෙන්‌ උරුවිසී දේව සුන්දරී
චංචල ඉඟ රංගවාහිනී - ඔද
වඩා සලයි කෝමල බඳ මධුර මෝහිනී

පෙම්‌ රස මුසු මන්දහාසිනී - රතු
කොපුල්‌ තලය රත්සර පෙති පෑ සිනා වැනී
දුන්‌ නෙතු අග බැල්ම රාගිනී - පැන
වැලඳ ගනී නාරිලතා කුන්ද ලෝචනී

සාම්ප්‍රදායික නාරිලතා සින්දුව පාදක කර ගෙන එම විරිත අනුව යමින් මේ ගීතයේ පද රචනය කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ය. ගී තනුව සාම්ප්‍රදායික නාරිලතා සින්දුව සහ ප්‍රශස්ති ගී ඇසුරෙනි.

ඇසුර:
අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ - නුවන් නයනජිත් කුමාර
සිංහල චිත්‍රපට ගීතාවලිය 1962-1966, සුනිල් ආරියරත්න (පිටු 125-130)

2021 මාර්තු 8 වැනි දින මෙලොව හැරදා අමරදේවයන්ගේ දුක සැප බලන්නට නික්ම ගිය විමලා අමරදේව මෑණියන්ට උපහාරයක් වශයෙනි.


පසු සටහන්:
1. සාම්ප්‍රදායික නාරිලතා සින්දුව සී. ද. ඇස්. කුලතිලක විසින් සංගීත සංයෝජනය කර කළ පටිගත කිරීමක් ගුවන් විදුලි සංස්ථාව විසින් නිකුත් කළ මුල්ම දීර්ඝ ධාවන (LP) තැටිය වන හෙළ ජන ගී තැටියෙහි අඩංගු වී ඇත. එම පටිගත කිරීමේ ගායනය අයිවෝ ඩෙනිස්, ටී එම් ජයරත්න ඇතුළු ගායන වෘන්දය විසිනි.

2. නාරිලතා සින්දුව පිළිබඳ බුද්ධි ජයසේකර විසින් ලියූ සටහනක් මෙතැනින් බලන්න.