සීතල කවි

කිනිර | Feb. 21, 2021

වතුර කලය ගැන ඩෝල්ටන් අල්විස් ගීත රචකයා තුල ඇති හැඟීම නම් එතරම් සුබදායක එකක් වෙන්නට බැරි ය. එය වරෙක අහිංසක ඉරිසියාවක් වන අතර වරෙක යුද්ධ ප්‍රකාශ කරන්නට තරම් බලවත් කේන්තියක් ද වෙයි. මේ සියල්ලටම එකම හේතුව නම් වතුර කලය ලඳුන්ගේ උකුල මත ගමන් කිරීම යි.

සැලෙන ලෙළෙන උකුළු තලේ
ලිඳට යනෙන වතුර කලේ
කළ මහ පින පෙනෙන වෙලේ
(ඩෝල්ටන් අල්විස් / අයිවෝ ඩෙනිස් / අයිවෝ ඩෙනිස්)

ඇයගේ හුරතල් උකුලෙන් යනෙනා
වතුර කලේ නොවැ මට වැඩි හපනා
(ඩෝල්ටන් අල්විස් / සනත් නන්දසිරි / සනත් නන්දසිරි)

mal-gomu-gumu-gumu-sakwithi-kith-resaයුද්ධ ප්‍රකාශය:
වතුර කළේ ඇයි උකුල තෙමන්නේ
කාගෙන් අහලද එහෙම කරන්නේ
පිපුණු මලක් සේ සූරිය තැන්නේ
ලිඳට ගිහිල්ලද තනිවමැ යන්නේ

වතුර කළේ ඇයි...

ඔබ දකිනා තුරු හිමිදිරි පින්නේ
ළඳුනේ මගෙ නෙත් දෙක කුසගින්නේ
මග බලමින් මම වැට ලඟ ඉන්නේ
ඇයිදැයි උඹේ හිතෙන්‌ අහපන්නේ

රතදර මදහස මී මුව බඳුනේ
වියලී යාවිද හෙට ඉර මුදුනේ
අහක බලනු දැකලයි හිත රිදුනේ
ගීයට හංකිති කවපන් ළඳුනේ

වතුර කළේ ඇයි...

කාලය හිස මුදුනින් පැනයනවා
ඇයගේ හසරැලි මග පර වෙනවා
බක්මග වැහි කලු රෑ ගෙට එනවා
සීතල කවි යහනෙන් ලියැවෙනවා

සපුරා ලන්නට ඈ මගෙ මනදොළ
ගෙට ආ සඳ නොමැ ඉඳ රුව බල බල
ලැම ගිරි මුදුනින්‌ හඳ පායන කල
[[ පහන නිවාපන්‌ කම්මැලි මඳ නල ]]

(ඩෝල්ටන් අල්විස් / සිසිර සේනාරත්න / සිසිර සේනාරත්න)

සසර වසන තුරු - ඩෝල්ටන් අල්විස් නිර්මාණ නින්නාද කෘතියේ එතුමන්ගේ ජීවන තොරතුරු මෙන්ම එතුමන් ලියූ ශාස්ත්‍රීය ලිපි, ගීත එකතුවක්, කවි එකතුවක් සහ ගීත නාට්‍යයක් ද අඩංගු වී ඇත. කවි එකතුවේ කවි කිහිපයක්ම ගීත වශයෙන්ද ගායනා කර ඇත. සිසිර සේනාරත්න සංගීතවත් කර ගායනා කරන වතුර කළේ ඇයි උකුල තෙමන්නේ ගීතයට පාදක වූ කවි පෙළ ද එම කවි කිහිපයෙන් එකකි.

ගීත රචකයින්ගේ ගී පද රචනා පොතක් ලෙස එළි දැක්වීමේ දී බොහෝ විට සිදු වන්නේ රචකයා ලඟ තිබෙන පිටපත් පොතට අඩංගු වීම යි. එම පිටපත් වල ඇත්තේ රචකයා මුලින් රචනා කළ පද වැල යි. නමුත් ගායනයේදී එම පද වැල් නොයෙක් ආකාරයේ වෙනස් කිරීම් වලට භාජනය වන බව අප කවුරුත් දන්නා කාරණයක්. සීතල කවි කවි පංතිය වතුර කළේ ඇයි උකුල තෙමන්නේ ගීතය ලෙස වෙනස් වීම මෙයට කදිම නිදසුනක්.

ගීතය සංගීතවත් කිරීමේදී හාර්මෝනියම්, මද්දලය සහ තබ්ලාව යන භාණ්ඩ වලට ප්‍රමුඛතාවය දී තියෙන්නේ නුර්ති සහ නාඩගම් සංගීතයේ ආභාෂය ලබමින්. ගායනය කරන විට මද්දලය භාවිතා කර ඇති අතර වාද්‍ය ඛණ්ඩ වලදී තබ්ලාව භාවිතා කර තිබෙනවා.