වැලපුම් කවි සහ ගී

කිනිර | Feb. 7, 2021

මොහු හැර වෙන දන් ගන්නෝ නැද්දෝ
වෙන දන් දුන් කල බුදු බව නැද්දෝ
පින් ගන්නෙක් ඔබ මිස වෙන නැද්දෝ
අම්මා නැති තැන අප දන් දෙද්දෝ (554)

බුදුබව පැතුවේ දරු දුක් නැ ද්දෝ
අම්මා නම් අප බැඳලා දෙ ද්දෝ
ගොන් බැඳ තැලුවට කිරි එරව ද්දෝ
සක්වල දෙවියෝ අසලක නැ ද්දෝ (602)

වෙස්සන්තර ජාතක කාව්‍යය, ඉතාම අනුවේදනීය වූ කවි විශාල සංඛ්‍යාවකින් සමන්විතය. මේ කවි අතර ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට දන් දුන් පසු දරුවන් විලාප දුන් ආකාරය දක්වන කවි සහ, වනයේ සිට ආපසු පැමිණි මන්ද්‍රි දේවිය දරුවන්ට කුමක් විණි දැයි අසමින් විලාප දුන් ආකාරය දක්වන කවි ප්‍රධාන තැනක් ගනී. ඉහත කවි දෙක ද එයින් මුල් කාණ්ඩයේ කවි දෙකකි. සමූහයක් ලෙස මේ කවි සැලකෙන්නේ වැලපුම් කවි ලෙසට යි. වෙස්සන්තර ජාතක කාව්‍යයට අමතරව, සඳ කිඳුරු වැලපිල්ල සහ කුවේණි වැලපිල්ලද වැලපුම් කවි වලින් සමන්විතය.

දිවයිනේ ඇතැම් පළාත් වල මළ ගෙවල් වල දී වෙස්සන්තර කාව්‍යය කියවීමේ චාරිත්‍රයක් තිබේ. මෘත ශරීරය ගෙදර තිබියදීත් ඉන් පසුවත් සතියක් පමණ කල් රෑ පහන් වන තෙක් මෙසේ වෙස්සන්තර ජාතක කාව්‍යය කියවති. මේ චාරිත්‍රය සාමාන්‍යයෙන් පවතින්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන්හි සහ ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත වු මුහුදු බඩ ප්‍රදේශවල බෞද්ධයන් අතරය. [1]

වෙස්සන්තර ජාතක කාව්‍යයේ වැලපුම් කවි සියල්ලම පාහේ ගායනා කර ඇත්තේ එකම තනුවකට බව පෙනේ. වැලපීමක් නොවන නමුත්, බාලේ පෙම්බර කොන්ඩා බැන්දත් කවියද වැලපුම් කවියක් ලෙස ගායනා කර ඇත. එම කවිය, රජතුමා තපසට යාමට සැරසුණ විට, දරුවන් කැටුව තමාද ඒ ගමනට එක් වීමට සැරසුණ මන්ද්‍රි දේවිය එයින් වැලැක්වීම අරමුණු කර ගෙන වෙස්සන්තර රජතුමා පැවසූ වදන් සහ දේවිය එයට දුන් පිළිතුරු අඩංගු කවි සතරකින් මුල් කවිය යි.

බාලේ පෙම්බර කොන්ඩා බැන්දත් තපසට නොගනිති වන්නා
දෙක‍ෙන් පුස්කොල තෝඩු තිබූවත් තපසට නොගනිති වන්නා
කන්නඩි කැඩපත් මූන බැලූවත් තපසට නොගනිති වන්නා
දෙකණ දෙමික්කම් මේවර ළූවත් තපසට නොගනිති වන්නා(168)

සෞන්දර්ව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමන් පනාපිටියගේ මූලිකත්වයෙන් බිහි වූ මාත්‍රා ජන සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ ටීකා නම් ප්‍රසංගයක දී වැලපුම් කවි දෙකක් ගායනා කර ඇත්තේ මෙසේ යි.

ගිරිඋල්ලේ ඉංගරදවුල ගැමුණු ම.ම.විද්‍යාලයේ එල්. පී. කපිල පතිරත්න ගුරුතුමා ද වැලපුම් කවි කිහිපයක් පටිගත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ-තක්සලාව වෙබ් අඩවියට එකතු කර තියෙනවා.

1. අඬන හිමාලේ (?? - වෙස්සන්තර ජාතක කාව්‍යයේ නම් නොවේ)

2. මොහු හැර (වෙස්සන්තර ජාතක කාව්‍යය)

3. වනසා නෑයන් (කුවේණී වැලපිල්ල)

4. පෙම්මා සුරතල් කියමින් (වෙස්සන්තර ජාතක කාව්‍යය)

වැලපුම් කවි තනු ඇසුරෙන් නිර්මාණය වූ ගීත කිහිපයක්ද සිංහල ගීතාවලියේ අපට හමුවෙනවා.

1. සඳසාවී මා (ලයනල් රන්වලයන්ගේ ගම අවුලඤ්ඤං ගීත එකතුව)
( සිසිර දිසානායක / ලයනල් රන්වල / වසන්තා මධුරංගනී)

2. කඳුළූ හෙලා නෑඹිලියට
(පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ / බන්දුල විජේවීර / බන්දුල විජේවීර)
මෙය දීපිකා ප්‍රියදර්ශනී විසිනුත් ගායනා කර ඇත.

ඇසුර:
[1] වෙස්සන්තර ජාතක කාව්‍යය - හැඳින්වීම, මහාචාර්ය ඒ. වී. සුරවීර, https://si.wikibooks.org/wiki/වෙස්සන්තර_ජාතක_කාව්‍ය-හැඳින්වීම