ජාතික ගීයේ දේශපාලනීකරණය

කිනිර | Feb. 4, 2021

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී ඇත. පසුගිය අවුරුදු කිහිපයක සිට මහත් ආන්දෝලනයකට තුඩු දෙන මාතෘකාවක් වී ඇත්තේ ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක්ද එසේ නැතහොත් වෙනත් භාෂා වලිනුත් එය ගායනා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.

ජාතික ගීයේ ආරම්භයේ සිටම එය ගැන නොයෙකුත් වාද විවාද පැවති බව ප්‍රකට කරුණකි. මේ සම්බන්ධයෙන් මහැදුරු සුනිල් ආරියරත්න තම ආනන්ද සමරකෝන් අධ්‍යයනය කෘතියේ මෙසේ සඳහන් කර යි.

ජාතික ගීය පිළිබඳ විවාදයට දැන් පුරා 37 වසරක් ගත වී තිබේ. එම විවාදයෙහි දී ජාතික ගීයෙහි සද්ගුණ දැක්වුණු අවස්ථා විරල ය. අසද්ගුණ දැක්වුණු අවස්ථා බහුල ය. සැබැවින් ජාතික ගීය තරම් පීඩාවට පාත්‍ර වූ පද රචනයක් හෝ ස්වර රචනයක් සිංහල ගීත වංශයෙහි තවත් නැති තරම් ය.

ජාතික ගීය ගැන ඇති වූ වාද විවාද, ගීයේ ගුණ අගුණ පාදක කර ගෙන ඇති වූ ඒවා ලෙසට මතුපිටින් පෙණුනත්, නොයෙකුත් ආකාරයේ දේශපාලනමය යටි අරමුණුද දකින්නට පුළුවන.

1948 පෙබරවාරි 4 දින අපට නිදහස ලැබුණ ද, ඒ වන විට නිල ජාතික ගීයක් අපට නොතිබිණ. 1948 දී ලන්ඩන් ඔලිම්පික් තරඟවලදී රිදී පදක්කමක් දිනාගත් ලාංකික ඩන්කන් වයිට් පදක්කම ගනිද්දී වාදනය කිරීමට ජාතික ගීයක් නොතිබූ නිසා එතැන සිටි අය ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කර වාදනය කළේ ‘දන්නෝ බුදුන්ගේ ‘ ගීතය බව කියැවේ. [3]

නිල වශයෙන් ජාතික ගීයක් රජය විසින් සම්මත කෙරුණේ 1951 නොවැම්බර් 22 වැනි දා ය. එසේ ජාතික ගීතයක් සම්මත කර ගැනීම දක්වා ගිය ගමනද, විවිධ හැල හැප්පිලි සහ වට වංගු වලින් යුක්ත වූ බව පෙනේ.

1930 දශකයේ අග භාගය වෙන විට නිදහස් ව්‍යාපාරය බල ගතු වෙමින් පැවතුණි. ඒ වන විට ජාතික ගීයක අවශ්‍යතාවය හඳුනා ගත් විවිධ කලාකරුවන් විසින් නිල නොවන ජාතික ගී කිහිපයක්ම නිර්මාණය කොට භාවිතා කරමින් සිටියහ. ඒ අතුරින් සමහරක් ශබ්දවාහිනී (ග්‍රැමපෝන්) තැටි ලෙසින්ද නිකුත් වී ඇත.

1. සැම සිරිලක සුන්දර ශ්‍රී(1937 දී පමණ)
සංගීතඥ ඇම්. ජී. පෙරේරා විසින් නිර්මාණය කළ ගීතයකි.

2. ජන සැම මන අධිපතියනි තුති වේ - 1939
ආනන්ද සමරකෝන් විසින් ඉන්දීය ජාතික ගීයේ තනුවට සිංහල වචන යොදා නිර්මාණය කළ මේ ගීතය ඔහු ගායනා කළේ චන්ද්‍රා සමරකෝන් සමග යි.

3. නමෝ නමෝ මාතා - 1940
ආනන්ද සමරකෝන් විසින් නිර්මාණය කරන ලද ගීයකි. ශබ්දවාහිනී තැටියක් ලෙස නිකුත් වුණේ 1946දී පමණ ය. ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා විසින් ගායනා කරන ලදි.

4. ශ්‍රී ලංකා මාතා නමදිමු - 1943
ලංකා ජාතික සංගමය තම රැස්වීම් වල ගායනා කිරිම සඳහා නිර්මාණය කළ මේ ගීතය ඩී. එස්. මුණසිංහ රචනා කර, දෙවාර් සූරියසේන විසින් සංගීතවත් කර ඇත. ශබ්දවාහිනී තැටියේ ගායනා කරන්නේ දෙවාර් සූරියසේන සහ පිරිස යි.

5. පුවක්පිටියේ ජේ පී වැලිවිට විසින් බ්‍රිතාන්‍ය ජාතික ගීය වූ God save the king ගීතයේ තනුව අනුව රචනා කරන ලද ගීතය.

මේ අතර 1947 දී එවකට අධ්‍යාපන ඇමති ධරය දැරූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විසින් කඩිමුඩියේ සිරිලක මාතා නමදිමු සෑමා යනුවෙන් ජාතික ගීතයක් රචනා කරන ලදි. මෙය ආනන්ද සමරකෝන්ගේ ජන සැම මන ගීතයට එරෙහිව කරන ලද්දක් බව කියැවේ. ඇමතිතුමාගේ මෙම ක්‍රියාව තරයේ හෙළා දුටු ඇතැමෙක්‌ ජාතික ගීයක්‌ කඩිමුඩියේ නිර්මාණය කිරීම අධ්‍යාපන ඇමතිතුමා සතු කාර්යයක්‌ නො ව විශාරදයන්ගෙන්‌ යුක්ත සභාවක වගකීමක්‌ බව පෙන්වා දුන්හ. සීඝ්‍රයෙන්‌ නිදහස කරා ළං වන ලංකාව වැනි රටකට පිළිගත් ගීයක්‌ නොමැතිකම ලජ්ජාවට කාරණයක්‌ බව ඔවුන්ගේ අදහස විය.

ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නය මෙලෙස උණුසුම්‌ වූ බැවින්‌ ජාතික ගී තරඟයක්‌ පැවැත්වීමේ කාර්යය ලංකා ගාන්ධර්ව සභාවට පවරන ලදි. තරඟ විනිශ්චය සඳහා සිංහල හා ද්‍රවිඩ විනිශ්චය මණ්ඩලයන් දෙකක්‌ පත් කරන ලදි. තරඟය පැවැත්වුණේ 1948 ජනවාරි 31 වැනි දා ය.

ආනන්ද සමරකෝන්ගේ නමෝ නමෝ මාතා ගීය ද, ලංකා ජාතික සංගමයේ ශ්‍රී ලංකා මාතා නමදිමු ගීතයද, ජේ පී වැලිවිට රචනා කළ ඉහත 5 ගීතයද, තවත් ගීත කිහිපයක්ද තරඟයට ඉදිරිපත් කෙරුණු බව වාර්තා වී ඇත.
1. ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිමා (රාගය: භූපාලි/දේශකර් )
පී බී ඉලංගසිංහ රචනා කර ලයනල් එදිරිසිංහ සංගීතවත් කළ ගීතයකි.
2. නමදිමු ශ්‍රී ලංකා මාතා (රාගය: බිලාවල්)
සංගීතඥ වින්සන්ට් සෝමපාල (සංගීතඥ ජයන්ත අරවින්ද ගේ පියා) විසින් නිර්මාණය කරන ලද ගීතයකි. ගීතය තරඟයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අවුරුදු 10ක් වූ ජයන්ත අරවින්ද සිතාරය වයමින් තම පියා ට සහාය විය.
3. ශ්‍රී ලංකා මගෙ ජය භූමී (රාගය: මාකලන්දාවරී)
නීතිඥ ජෝන් ද සිල්වා ට නෑදෑ කමක් ඇති රාණි මාකලන්ද ඉදිරිපත් කළ ගීතයකි. රාගය ලෙස නම් කර තිබුණේ 'මාකලන්දාවරී' නමුත් එය ඔවුන්ගේ වාසගම සඳහන් නමක් මිස සැබෑ රාගයක් නොවී ය.
[2]

විනිශ්චය මණ්ඩලය විසින් පී බී ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ නිර්මාණය කළ ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිමා ගීතය තෝරා ගත් අතර 1948 පෙබරවාරි 4 දින ජාතික ගීය වශයෙන් ඒ ගීය ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ලදි.

නමුත් මෙම තෝරාගැනීමේ තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ පී බී ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ යන දෙදෙනාම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින් වීම යි. මේ සම්බන්ධයෙන් මහජන උද්ඝෝෂණ පැන නැගුණ නිසා 1949 පෙබරවාරි 4 නිදහස් උළෙලෙහි දී ගායනා කරන ලද්දේ ආනන්ද සමරකෝන්ගේ නමෝ නමෝ මාතා ගීය යි. එය මියුසියස් විද්‍යාලයීය ගායිකාවන් ගායනා කළේ මර්සලීනු ජයකොඩි පියනම ගේ මෙහෙයවීමෙනි.

1950 අප්‍රේල් මාසයේදී නමෝ නමෝ මාතා ගීතය නිල වශයෙන් ජාතික ගීය බවට පත් කිරීම සඳහා එවකට මුදල් ඇමති ධුරය දැරූ ජේ ආර් ජයවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරන ලද බව පුවත් පත් වල සඳහන් වී තිබුණි. තවත් පුවත් පතක සඳහන් වන්නේ ග්‍රාම සංවර්ධන ඇමති ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක නමෝ නමෝ මාතා ගීතය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් 1951 නොවැම්බර් 22 වැනි දා කැබිනට් මණ්ඩලය විසින් නමෝ නමෝ මාතා ගීතය ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගන්නා ලදි.

1954දී ජාතික ගීයේ රචකයාට ගෞරව කිරීමක් ලෙස රු. 2500 ක් පිරිනමන්නට රජය තීරණය කළ නමුත්, ගීතය මුද්‍රණයෙන් පළ කළ කුමුදිනී ග්‍රන්ථයේ ප්‍රකාශක ජී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන එහි අයිතිය කියා සිටි නිසා සමරකෝනුන්ට එම මුදල අහිමි විය.

Kuudini Front Innerkumudini namo namo maathaa kumudini-jana-saema-mana

නමෝ මාතා ගීතය ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමගම ගීතයේ සදොස් තැන් සොයා පහර එල්ල කිරීමේ ව්‍යාපාරයක් ද දියත් විය. ගීතයේ ප්‍රාණවත්කම මදි බවත්, වෙනත් ගීත තනු වල කොටස් කොපි කර ඇති බවත් චෝදනා කළ නමුත් ප්‍රධානතම දෝෂයන් ලෙස පෙන්වා තිබුණේ ආරම්භක අකුර (න) අපායාක්ෂරයක් වීම සහ ආරම්භක ගණය (ජ ගණය) ලෙඩ දුක් ඇති වීමට හේතු වනවා යැයි කියන අනිෂ්ට ගණයක් වීමයි. ගීතයේ ආරම්භය (එනම් න-මෝ-න) ලඝු-ගුරු-ලඝු ශබ්ද පිළිවෙලින් ඇති නිසා එය ජ ගණය විය.

1952දී අගමැති ඩී. එස්. සේනානායක අභාවප්‍රාප්ත වීම, ඉන් පසුව බලයට පත් වූ ඩඩ්ලි සේනානායක රජය අකාලයේ බිඳ වැටීම, 1953 බලයට පත් වූ ජෝන් කොතලාවල රජය 1956දී විසුරුවන්නට සිදු වීම, 1959 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක් වීම, 1960 මාර්තු බලයට පත් වූ ඩඩ්ලි සේනානායක රජය මාසයකට පසු විසුරුවා හරින්නට සිදුවීම යනාදියේ සියළු වගකීම ජාතික ගීයේ ඇතැයි කියූ දෝෂ මත පවරන ලදි.

ජාතික ගීය පිළිබඳ මෙසේ ඇති වූ වාද විවාද වලදී ආනන්ද සමරකෝන්ගේ සහායට සිටියේ බැන්ටිස් රණවීර කවියා සහ පියල් වික්‍රමසිංහ වැනි සුළු පිරිසකි. පූජ්‍ය දෙහිගස්පේ පඤ්ඤාසාර, පූජ්‍ය හිස්සැල්ලේ ධර්මාරාම, දොන් මානිස් පට්ටිආරච්චි, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන අය විරුද්ධ පාර්ශවයේ සිටි කැපී පෙනෙන අය වූහ.

ජාතික ගීය පිළිබඳ දිගින් දිගට පැවති මේ විවාදය නිසා සමරකෝනුන් දැඩි ලෙස සිත් පීඩාවට පත් විය. ජාතික ගීයේ කරච්චලය යන මැයෙන් පියල් වික්‍රමසිංහ මෙසේ ලියා ඇත.

ඩී. ඇස්‌. අකල්‌ මරණයකට ගොදුරු කරන්නටත්‌, ඩඩ්ලිට බඩේ අමාරුව හදන්නටත්‌ කොතලාවලට යළි බලය නො දෙන්නටන්‌ තරම්‌ අනුහසක්‌ ජාතික ගීයට ඇතැයි කියති. මේ අනුහස ජානික ගීයට ලැබී ඇත්තේ ගණ දෝෂයක්‌ නිසා නොව, වරින්‌ වර එහි නිබන්ධකයාගේ සිත රිදවීමෙන්‌ අවුළුවන සෝක ගින්නට ඵල විපාක වශයෙනි.

1960 අගෝස්තු බලයට පත් වූ සිරිමා බණාඩාරනායක රජය විසින් විද්වතුන් සහ සංගීතඥයින්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක උපදෙස් පිළිපදිමින් නමෝ නමෝ මාතා යන පද ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කරන ලද්දේ 1961 පෙබරවාරි මාසයේදී ය. එසේ කළ විට ජයග්‍රහණය ගෙන දෙන ගණයක් ලෙස සැළකූ, සර්ව ලඝු වූ (ශ්‍රී - ලං - කා) ම ගණයෙන් ගීතය ආරම්භ වන බව පැවසුණි.

ඉහත සංශෝධනය සමරකෝනුන් අනුමත නොකළ අතර, ඩඩ්ලි සේනානායක වෙත 1962 මාර්තු මස ලිපියක් යවමින් මෙසේ කියා සිටියේ ය.

මෙයින් මා තුළ හට හෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදා මුත් කෙළවර වෙන්නේ මාගේ මරණයෙන් පමණක් බව දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත් පිත් නැති රජයක් යටතේ තව දුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේ මිය යෑම සැපතකි.

1962 අප්‍රේල් 2 වැනි දින රාත්‍රියේ ආනන්ද සමරකෝනුන් නිදි පෙති 25-30 අතර ප්‍රමාණයක් ගෙන නින්දට ගොස් තිබිණ. පසුදින රෝහලට ඇතුළු කරනු ලැබූ සමරකෝනුන් අප්‍රේල් 5 වැනි දින මිය යන විට වයස අවුරුදු 51 කි.

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසන ආකාරයට, ජාතික ගීයේ නිර්මාතෘ සිය දිවි හානි කර ගත් එකම රට ශ්‍රී ලංකාව යි.

පරිශීලනය කළ පොත් සහ ලිපි :
1. ආනන්ද සමරකෝන් අධ්‍යයනය - සුනිල් ආරියරත්න, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1988
2. ජාතික ගීයට ඉඩ දුන් ගීත, ජයන්ත අරවින්ද - http://www.silumina.lk/2018/02/03/විවර/ජාතික-ගීයට-ඉඩ-දුන්-ගීත, සිළුමිණ, 2018-02-03
3. රෑ ඉරපාන ගීතාත්ම, බන්දුල නානායක්කාරවසම්, https://divaina.com/daily/index.php/visheshanga3/44596-2020-06-25-12-09-44, දිවයින, 2020-06-26

ගීත සම්පාදනය කළ මුදිත අබේගුණවර්ධන සහෘදයාට තුති.

( ඇම් ජී පෙරේරා සංගීතඥයා, ආනන්ද පෙරේරා සහ අසෝක පෙරේරා ගේ පියා සහ මහනුවර ඇම් ජී පී කලායතනයේ ආරම්භක බව මේ සටහනේ කලින් සඳහන් වූයේ වැරදීමකිනි. මහනුවර ඇම් ජී පී කලායතනය ආරම්භ කළේ ඇම් ජී පෙරේරා ගේ ශිෂ්‍යයෙකු වූ සිරිල් පෙරේරා විසිනි.)

ජන සැම මන අධිපතියනි තුති වේ (ආනන්ද සමරකෝන් / චන්ද්‍රා සමරකෝන්)

නමෝ නමෝ මාතා (ආනන්ද සමරකෝන් / ස්වර්ණා ද සිල්වා)

ශ්‍රී ලංකා මාතා නමදිමු (දෙවාර් සූරියසේන සහ පිරිස)

නමෝ නමෝ මාතා (මියුසියස් විද්‍යාලයීය ගායිකා කණ්ඩායම)