කෙලෙසක වෑවෙම්මා

කිනිර | Jan. 31, 2021

පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා

දුක්විඳ දසමස උසුලා වැදුදැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා ඇති කළදැයි අම්මා
රස පල වැල නෙලා දිදී රක්ෂා කළ අම්මා
සතර අපාවල නොඉපිද නිවන් දකින් අම්මා

මේ කවි දෙක, බැලූ බැල්මට මිය ගිය මවකට නිවන් සුව පැතීමේ අරමුණින් ලියූ කවි දෙකක් ලෙස පෙනෙන නමුත් සැබැවින්ම එසේ නොවන්නේ ය. වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන මේ කවි දෙක, වෙස්සන්තර රජ තුමා විසින් ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට දන් දුන් පසු, පල වැල නෙළන්නට ගොස් සිටි බැවින් එතැන නො සිටි මන්ද්‍රි දේවිය සිහිපත් කරමින්, ඇයට බුදුබව පතමින්, විලාප බස් පවසමින් පිය රජුගෙන් සමුගන්නා දරුවන් ගේ මුවට නගා ඇති කවි සමූහයකින් (කවි 526 සිට 545) දෙකකි (කවි 530 සහ 532).

අමරදේවයන් ඉහත කවි දෙක වැලපුම් ගීතයක් ලෙසට ගායනා කරන්නේ 1970 දශකයේ මඩවල එස්. රත්නායක ගී පද ලියා නිෂ්පාදනය කළ ස්වර වර්ණ වැඩසටහනක යි. "සතර අපාවල නොඉපිද" යන්න "සතර අපාවල නොවැටී" ලෙස වෙනස් කර ඇත්තේ ගායනයට වඩාත් සුදුසු වන ලෙස සහ ඊට කලින් පදය හා ගැලපීමට විය යුතු ය.

තෝරාගත් කවි දෙක, මිය ගිය මවකට නිවන් සුව පතන වැලපුම් ගීතයක් ලෙසට පරිණාමනය කිරීම සඳහා අමරදේවයන් උපක්‍රම තුනක් භාවිතා කර යි. එයින් පළමුවැන්න කරුණා රසය සහ ශෝකය දනවන ස්වර මාලාවක් කාලිංගඩා සහ භෛරවී රාග ඇසුරෙන් නිර්මාණය කිරීම යි. දෙවැන්න නම් මළ බෙර වාදන වල ශබ්දය අනුකරණය කෙරෙන තබ්ලා තාලයක් තෝරා ගැනීම යි. තුන්වැන්න ගීතයේ අරුතට අතිශය ලෙසින් ගැලපෙන පරිදි, ශෝකය සහ කරුණාව මුහු කොට ගත් හඬකින් ගීතය ගායනය කිරීම යි. ගීතය අසන බොහෝ වාරයක මගේ මිය ගිය මව සිහිපත් වෙමින් ඇසට කඳුළු එන්නේ නිතැතින්.

ගීතය අඩංගු ස්වර වර්ණ වැඩ සටහන ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අවස්ථාවේ කිහිප විටක්ම සම්ප්‍රේෂණාගාරයේ විදුලිය ඇණ හිටි නිසා ගීතයේ සුළු කොටසක් අඩු වූ නමුත්, ඒ වෙනුවට ගීතයේ තවත් තැනක ඊට සම්පූර්ණයෙන්ම සමාන කොටසක් තිබූ නිසා ගීතය පිළිසකර කිරීම එතරම් අපහසු නොවීය. ගීත පිළිසකර කිරීම සඳහා අවශ්‍ය වූ තාක්ෂණය අටවා ගත් පසු මා ප්‍රතිස්ථාපනය කළ මුල්ම ගීතය මෙය විය යුතු ය.

[1999-01-30 දින අප අතරින් වියෝවුණු මගේ මෑණියන් ගේ විසි දෙවැනි ගුණ සැමරුව නිමිත්තෙනි.]

ඇසුර:
https://si.wikibooks.org/wiki/වෙස්සන්තර_ජාතක_කාව්‍ය-හැඳින්වීම (මහාචාර්ය ඒ. වී. සුරවීර)
https://si.wikibooks.org/wiki/වෙස්සන්තර_ජාතක_කාව්‍ය-vi

ප්‍රතිස්ථාපනයට පෙර

ප්‍රතිස්ථාපනය කළ ගීතය