ආචාර්ය නන්දා මාලිනී - ජන සංගීතය ආශ්‍රිත පර්යේෂණ ගී

Buddhi Jayasekara | Jan. 23, 2021

නාඬන් උඳුන...
ගායනය - ආචාර්ය නන්දා මාලිනී
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න ??
සංගීතය - ආචාර්ය නන්දා මාලිනී

ජන සංගීතය ආශ්‍රිත ව ගීත නිර්මාණය කිරීම පිළිබඳ නොයෙක් විද්වතුන් නොයෙක් ආකාරයේ පර්යේෂණ සිදු කර ඇත. විශේෂයෙන් ග්‍රැමෆෝන් යුගයේ සිට ජන සංගීතය භාවිතා කරමින් නොයෙක් නිර්මාණකරුවන් නොයෙක් ආකාරයේ නිර්මාණ ද ඉදිරිපත් කොට තිබේ. ඒවායේ සාර්ථක අසාර්ථක භාවය මැන බැලීමට නම් එම නිර්මාණ පසුබිම් වූ යුගයට අදාළ වූ සංගීතමය පරිසරය හොඳින් අධ්‍යයනය කළ යුතු ය. ග්‍රැමෆෝන් යුගයේ පටන් පැවත ආ ජන සංගීතය පිළිබඳ පර්යේෂණ වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 60 දශකයේ ගුවන්විදුලි ජන සංගීත පර්යේෂණ අංශයේ දියුණුවත් සමඟ යි. ඒ සඳහා විශේෂයෙන් ගමින් ගමට ගොස් පාරම්පරික ජන ගී අධ්‍යයනය කරමින් ඒවා පටිගත කරමින් ඉමහත් වෙහෙසක් දැරූ දෙදෙනෙකු වන්නේ සී. ද. එස්. කුලතිලක හා ඩබ්. බී. මකුලොලුව මහත්වරුන් ය.

නමුත් මෙම ලිපියෙහි ප්‍රස්තුතයට භාජනය වන්නේ අද දිනයේ දී ද ජනප්‍රිය ගායන ශිල්පිනියක වන නන්දා මාලිනි මහත්මියගේ සංගීත නිර්මාණ පිළිබඳ ව යි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඇය සංගීත නිර්මාණ සිදු කළ බව නොදන්නවා වන්නට ද පිළිවන. ඒ ඇගේ ගායනා හා ඈ ගැයූ ගී වල පද මාලා පිළිබඳව මිස ඇගේ සංගීත නිර්මාණ දක්ෂතාව පිළිබඳ නිවැරදි විචාරයක් සිදු නොවී ඇති නිසා යැයි සිතිය හැකි ය. ඇය විශේෂයෙන් ගුවන්විදුලි පර්යේෂණ ගී වැඩසටහන් සඳහා සංගීතය සම්පාදනය නොකළ ද, ඇගේ සරල ගී හා ළමා ගී වැඩසටහන් සඳහා ගීත නිර්මාණය කිරීමේ දී ජන සංගීතය වෙසෙසින් යොදා ගැනීමට ඇය අමතක නොකළා ය. රුක් අත්තන මල මුඳුනේ, සුරංගී ට දුක හිතුණා, මිහිමඬලේ අඳුරු කුසේ, දඬුවැල් බෑයේ (වික්ටර් රත්නායක සමඟ), සාරි පොඩිත්තක් ඇඳගෙන, දීග නොගිය පුංචි නෑනෝ එවන් නිර්මාණ කිහිපයකි. ඇගේ තනු නිර්මාණ එවකට සිටි ප්‍රවීණ සංගීතඥයන් ගේ තනු හා සමානව ම ජනප්‍රියත්වය ලැබූ බව ඉහත ගීත සාක්ෂි දරයි. එසේම ඇගේ තනු නිර්මාණ ඩබ්.බී. මකුලොලුව මහතා බෙහෙවින් අගය කළ බව ගුවන්විදුලි හඬ සඟරාවක සටහන් ව තිබිණි.

ඇය ජන සංගීතය ආශ්‍රිතව නිර්මාණ කිරීමට පරිචය ලැබූයේ කෙසේ දැයි වරෙක මෙසේ ප්‍රකාශ කළා ය.

"මම රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ දී ජන සංගීතය ද විෂයයක් වශයෙන් ඉගෙන ගත්තා. එසේ ම මම සංගීත විද්‍යාලයට යන එන ගමනේ දී රජයේ නැටුම් කලායතනයේ පන්ති පැවැත්වෙන ස්ථානය පසු කර යනවා. ඒ ගමනේ දී මගේ කනට වැටෙන වන්නම්, ප්‍රශස්ති, නොයෙක් ගැමි ගී ආදියට මගේ හිත ගියා. ඒ ආකාරයට මනසේ තැන්පත් වුණු ජන ගී තමයි පසු කාලීනව මගේ සංගීත නිර්මාණ වලින් ඉදිරියට පැමිණියේ."

සැබවින් ම නන්දා මාලිනි මහත්මිය සංගීත නිර්මාණකරණයේ දී අවශ්‍ය තැනින් අවශ්‍ය සංගීත ශිල්ප ක්‍රමය යොදා ගැනීමට පසුබට නොවූවා ය. වරෙක උත්තර භාරතීය රාගධාරී සංගීතය තම නිර්මාණ සඳහා ඇසුරු කළ ද, ජන සංගීතය ආශ්‍රිතව නිර්මාණ කිරීමේ දී එයට ඉන්දියානු හැඩය ඇතුළත් නොකිරීමට ද ප්‍රවේශම් වූවා ය. සංගීත සංයෝජනයේ දී ද විශේෂිත වූ රටාවක් අනුව සංගීත වාද්‍ය ඛණ්ඩ යොදා ගැනීමට ද ඈ සමත් වූවා ය.

සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ දක්ෂතාව එසේ වූව ද නන්දා මාලිනි මහත්මිය පසු කාලීනව, විශේෂයෙන් 80 දශකයේ සිට සංගීත නිර්මාණ කටයුතු වලින් කෙමෙන් බැහැර වූවා ය. ඊට පදනම් වූ ශාස්ත්‍රීය හේතු ලෙස ඇය පවසන්නේ තමාගේ සංගීත නිර්මාණ තරමක් ඒකාකාරී වෙමින් යන බවක් ඇයට වැටහුණු බැවින් හා වෙනත් සංගීතඥයන් ගේ ගී ගායනය කිරීමට තදබල ආශාවක් පැවතුණු බැවින් සංගීත නිර්මාණ සිදු කිරීමෙන් තරමක් ඈත් වූ බවයි. පසු කාලීනව එනම් 70 දශකයේ අග භාගයේ දී ඇය ඔස්ටින් මුණසිංහ, ආචාර්ය කේමදාසයන් යටතේ ජන ගී ආර ප්‍රකට කරවන ගී ගැයුවා ය.

පසු කාලයේ දී නන්දා මාලිනි මහත්මිය තමාගේ සංගීත නිර්මාණ කිහිපයක් නැවත එළි දැක්වූයේ සාරි පොඩිත්තක් නමැති කැසට් පටයෙනි. නමුත් එහි සංගීත සංයෝජනය සිදු වන්නේ රෝහණ වීරසිංහ මහතා අතිනි. රෝහණ වීරසිංහ මහතා දක්ෂ සංගීතඥයකු වුවද. නන්දා මාලිනී මහත්මියගේ ගීත වල ආ සංගීත සංයෝජන රටාව ඔහු අතින් තරමක් වෙනස් වී තිබේ. එසේ ම 70 දශකයේ දී ගීත වලදී නන්දා මාලිනී මහත්මිය ප්‍රකට කරවන භාව ප්‍රකාශනය ද පසු කාලීන පටිගත කිරීම් වලදී දැකීම අපහසු ය. නමුත් සාරි පොඩිත්තක් කැසට් පටයෙන් සිදු වූ යහපත් ප්‍රතිඵලය වූයේ ඇගේ සංගීත නිර්මාණ පිළිබඳ ව නව පරපුර තරමක හෝ දැනුමක් ලබා ගැනීම ය.

අද මෙම සටහන සමඟ දක්වන උදාහරණ ගීතය තරමක් විශේෂ එකකි. එය ද ඇගේ සරල ගී වැඩසටහනක් සඳහා පටිගත කෙරුණක් විය යුතු ය. එහි ඇත්තේ වෙනත් ම රටාවකි.

නාඬන් උඳුන මම බත් උයනවා හෙට
නාඬන් වළඳ උඳුනේ තියෙනවා හෙට
නාඬන් තැටිය උණු බත් බෙදනවා හෙට
නාඬන් හිරමනේ පොල් ගානවා හෙට

මුළුතැන් ගෙදර මංගල්ලේ හිනා හඬ
සක්වල ගලේ ගල මුදුනට ඇහේවි ද
පායා එන්න ආකාසේ පුරා හඳ
පොල්තෙල් පාන ඕනෑ නැත අපේ ගෙට

ඉහට වහලේ නිල අහසයි මුළු ලොවට
පලබර තුරුලතා හෙවනයි රන් දිවට
පුරාණයක් හෙට දවසක් ඇත අපට
සාදු සාදු මල් පිපියන් සිරිලකට

බැලු බැල්මට ගීතයේ ඇත්තේ ගීතයකට නොගැලපෙන අන්දමේ පද රචනාවකි. නමුත් එහි ඇත්තේ නවමු ආරක වචන පෙළකි. එයට තනුවක් යෙදීමට ද අපහසු බැව් පෙනෙනු ඇත. එහෙත් ඒ අභියෝගය ජය ගැනීමට නන්දා මාලිනී මහත්මිය පළමුව යොදා ගන්නේ සැහැලි හා යාදිනි නාද මාලාවක් ඇසුරු කරගත් තනුවකි. ගී පද අතර සිතාර් හා ගිටාර් වාද්‍ය ඛණ්ඩ යොදා ගත්තද ඒවා වාදනය වන්නේ එකී ජන නාදමාලාවේ රිද්ම රටාව අනුව ය.
දෙවැනි කොටසේ නදමාලාවෙන් මෙවර කෙළියේ රිද්ම රටාව මතු වූවද, ස්වර රචනාව මුල් ස්වර ඛණ්ඩ කිහිපයෙන් පසුව මේවර කෙළියට සමාන නොවන බව පෙනෙන්නේ ඇය මුල් ජන ගීයේ සීමිත ස්වර සංඛ්‍යාව වර්ධනය කරගන්නා බැවින් විය යුතුය.
තෙවැනි කොටසේ නාදමාලාව පහතරට ශාන්තිකර්ම නාද මාලා දෙසට නැඹුරු වේ. ඩෙන්න ඩෙනා නා... යන පහතරට ශාන්තිකර්ම ගීයේ හැඩහුරුව ට සකස් කෙරුණු තනුවක් ගීතයෙන් මතු වේ. ගීතයට යොදා ඇති බෙර වාදනය ද ඊට සමපාත වෙයි.

හින්දුස්ථානි සංගීතය ඉගෙන ගත්ත ද, ගීතය ගායනයේ දී එහි එන ගායන අලංකාර හැකිතාක් අවම ව යොදා ගැනීමට නන්දා මාලිනී මහත්මිය වග බලා ගනී. එම නිසා එහි දේශීය හැඩ තල මතු කර ගැනීමට ඇය සමත් වේ. ගීතයට පදනම් වුණු ශ්‍රැතිය කෝමල නි හෙවත් Bb major ය.

ස්වර රචනාව ද, සංගීත සංයෝජනය හා ගායනය ද සූක්ෂ්ම ව සිදු කර ඇති බැවින් මේ ගීතය ජන සංගීතය ආශ්‍රිත සාර්ථක පර්යේෂණ ගීයක් ලෙසින් හැඳින්විය හැකි ය.

මුලාශ්‍ර -
හෙළ ගී මග - ඩබ්. බී. මකුලොලුව
සිංහල සංගීත සම්භවය - සී. ද. එස්. කුලතිලක
ගී තනු නිර්මාණ - නන්දා මාලිනී

ගීතයේ එන ඡායාරුපය Dayan Witharana මහතාගේ පිටුවෙනි.
මෙහි එන ඇමුණුමේ ඇති ගීතය පටිගත කරගන්නා ලද්දේ ගුවන්විදුලි විකාෂණකිනි. එහි සියලුම අයිතීන් අදාළ නිර්මාණකරුවන් හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු වේ.