නෝක්කාඩුව

කිනිර | Jan. 23, 2021

Gaman Magak Coverගමන් මඟක් - රෝහණ වීරසිංහ
27 පරිච්ඡේදය - නෝක්කාඩුව
පිටු 146-152

නන්දා මාලනියගේ “සත්‍යයේ ගීතය" නවතම ඒක පුද්ගල ප්‍රසංගය එළිදැක්වූයේ 1982 දීය. ඒ වන විට නන්දා අක්කා පදිංචිව සිටියේ මහරගම දහම්‌ මාවතේ නිවසකය. දිනක්‌ මහාචාර්‌ය සුනිල්‌ ආරියරත්නයන්‌ විසින්‌ මා එහි කැඳවනු ලැබූයේ එම ප්‍රසංගය සඳහා ගීත කීපයක්‌ නිර්‌මාණය කරවා ගැනීමටය. එම ප්‍රසංගයේ බොහොමයක්‌ තනු නිර්‌මාණය කරනු ලැබුවේ එච්‌.එම්‌. ජයවර්‌ධන සංගීතවේදියා විසිනි. මගේ ද ගීත හතක්‌ අටක්‌ ඇතුළත්‌ වූ අතර, මර්‌වින්‌ පෙරේරා, ඔස්ටින්‌ මුණසිංහ, සරත්‌ දසනායක ආදී සංගීතවේදීන්ගේ නිර්‌මාණ කීපයක්‌ ද තිබිණ.

මෙම ප්‍රසංගය අති සාර්‌ථක ලෙස දිවයින පුරා නගර ගම්‌ දනච්චල පැවැත්වූ අතර, එහි වාද්‍ය වෘන්දයේ වැඩි පිරිස ද තරුණයෝ වූහ. ඒ අය නම්‌ තිස්සසිරි, කලණි, ගුණසේන, ජයවර්ධන, ජයසිංහ හා මාය. වයි.එම්‌. සුමනසිරි, බර්ටි රණසිංහ, ගුණසේන කුරේ හා සේන වීරසේකර මෙහි සිටි ජ්‍යෙෂ්ඨ ශිල්පීහු වූහ. අත්වැල්‌ ගායනයට සිටියේ කීර්‌ති පැස්කුවල්‌ නයන ආනන්ද හා නාලක ගමගේය. ප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධීකරණය භාර චී තිබුණේ සේන වීරසේකර සංගීතවේදියාටය.

ආරම්භයේ සිටම ඉතා ළෙන්ගතුව එකම සෝයුරු කැලක්‌ ලෙස සතුටින්‌ හා විනෝදයෙන්‌ මේ ප්‍රසංග චාරිකාව සිදුවිය. “ස” ප්‍රසංගයේ “ඒලියන්‌” අයියාව කුපිත කරවමින්‌ විනෝද වූවා සේම, මෙම ප්‍රසංගයේ “බයිට්‌” එක වූයේ බර්‌ටි රණසිංහය. සුළු දේටත්‌ ඉක්මනින්‌ කිපෙන ඔහු සේන අයියා විසින්‌ “බයිට්‌” කරනු ලැබීම අනෙක්‌ හැම දෙනාටම මහත්‌ විනෝදයක්‌ ගෙන දුන්නේය.

මා හැර මේ වාද්‍ය වෘන්දයේ සියලු දෙනා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ නිත්‍ය වාදකයෝ වූහ. එබැවින්‌ සතියේ දිනවල ඈත පළාත්වල ප්‍රසංගය පැවැත්වීමට යොදා ගැනීමෙන්‌ ඒ ශිල්පීන්ට නිවාඩු දමන්නට සිදුවිය. මේ බව ඔවුන්‌ විසින්‌ ප්‍රසංග වෙන්‌ කිරීමේ කටයුතු භාරව කටයුතු කළ සේන වීරසේකරයන්ට කියනු ලැබූ නමුත්‌, එය නිසි පරිදි ක්‍රියාත්මක නුවූයෙන්‌ ඇති වූයේ තරමක ගැටලු සහගත තත්ත්වයකි. මේ පිළිබඳව යළි යළිත්‌ සිහිපත්‌ කෙරුව ද පලක්‌ නොවීම නිසා එළඹුණේ බරපතළ තත්ත්වයකි.

සතියේ දිනවල පැවැත්වූ ප්‍රසංග සඳහා සමහරු කලින්‌ නොදන්වා සහභාගි වීමෙන්‌ වැළකී සිටියහ. ඔවුන්‌ කීවේ අපේ නිවාඩු අවසන්‌ කර ගැනීමට ඉඩ තැබිය නොහැකි බවය. එසේ නොදන්වා ප්‍රසංගයට නොපැමිණිමෙන්‌ වාද්‍ය වෘන්දය දුර්‌වල චී නන්දා මාලනිය අපහසුතාවට පත්‌ වූ අවස්ථා පැන නැඟිණි. ගැටුම අරගලයක්‌ විය. අරගලය දුරදිග ගියේය. එක්‌ දිනක්‌ ඈත පළාතක පැවැත්වූ ප්‍රසංගයට වාද්‍ය වෘන්දය ලෙස පැමිණ සිටියේ ජයසිංහ, මා හා සේන වීරසේකරයන්‌ පමණි. මම සිතාරය පසෙක තබා සර්‌පිනාවෙන්‌ සියලු සංගීත ඛණ්ඩ වාදනය කරමින්‌ ප්‍රසංගය පැවැත්වීමට උර දුන්නෙමි. නන්දා අක්කා සිටියේ පුදුම මානසික ආතතියකින්‌ යුතුවය. මෙසේ තත්ත්වය නරකම අතට හැරෙන අතර තුර කාලයේ නන්දා අක්කාට ජාතික රූපවාහිනියේ “සංඛ පද්ම” නම්‌ වූ සංගීතමය වැඩසටහනකට ආරාධනයක්‌ ලැබිණ.

මහාචාර්‌ය සුනිල්‌ ආරියරත්නයන්ගේ තීරණය වූයේ මෙම වැඩසටහනේ සියලුම ගීතවල සංගීතය මා විසින්‌ නිර්‌මාණය කළ යුතු බවය. අප දින ගණනාවක්‌ ගත කර බොහෝ උනන්දුවෙන්‌ යුතුව එම ගීත නිර්මාණය කළෙමු, “මේඝයක්‌ වී”, “රුවල්‌ ඉරි ගිය", “තරුද නිදන", “මා ඔබෙයි ශ්‍රී ලංකා" ආදී එම ගීත සමුච්චයෙහිම ඉතා මධුර ලෙස තනු නිර්‌මාණය විය. මෙහි දී සුනිල්‌ ආරියරත්නයන්‌ විසින්‌ ඇතැම්‌ ගීත සඳහා මෙතෙක්‌ වැඩිපුර නැසුණු හඬවල්‌ ඇති, ජල තරංග, පියානෝ, සරෝද්‌ ආදී භාණ්ඩ උපයෝගී කර ගන්නා ලෙස මගෙන්‌ ඉල්ලා සිටියේය. එමෙන්ම සත්‍යයේ ගීතයේ "වර්‌ජක" කණ්ඩායමට අයත්‌ කිසිවකුත්‌ මේ වැඩසටහනට සම්බන්ධ කර නොගත යුතු බවට ද එතුමා තදින්ම කොන්දේසියක්‌ ඉදිරිපත්‌ කර සිටියේය.

මෙහි දී මට මුහුණ දීමට සිදුවූයේ මහත්‌ අකරතැබ්බයකටය. ඔවුන්‌ සියලුදෙනාම මගේ සමීපතම මිතුරෝය. මෙතැන දී මා සුනිල්‌ ආරියරත්නයන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ව පසෙකට ලා වෙනත්‌ ශිල්පීන්‌ පිරිසක්‌ මීට සම්බන්ධ කර ගැනීමෙන්‌ ඒ මිතුරුදම එතෙකින්ම අහෝසි වීමට ඉඩ ඇති බවත්‌, විශේෂයෙන්ම මේ වැඩසටහනේ සියලු ගීත මට තනිවම නිර්‌මාණය කිරීමට ලබාගෙන ඊට දක්වන කෘතගුණයක්‌ ලෙස මේ පිරිස ඉවත්‌ කිරීම කළේයයි මා පිළිබඳව අනියත සැකයක්‌ ඇති කරගැනීමට ඉඩ ඇති බවත්‌, මගේ සිත මට අනතුරු අඟවන්නට විය. මා ගිරයට අසු වූ තත්ත්වයට පත්‌ වී දස අත කල්පනා කරද්දී මගේ සිත මට ලබාදුන්‌ පිළිතුර වූයේ සියලු ගීතයන්හි සංගීත සංයෝජන නිමවා ස්චර ලිපි සකස්‌ කොට සුනිල්‌ ආරියරත්නයන්ට භාර දී මා ද මේ කටයුත්තෙන්‌ ඉවත්‌ වීම සුදුසු බවය. මම සිත එඩිතර කරගෙන නන්දා අක්කාත්‌, සුනිල්‌ අයියාත්‌ හමු වී මගේ තීරණය පැවැසුවෙමි. “හා ප්‍රශ්නයක්‌ නෑ, රෝහණගෙ කැමැත්තක්‌” සුනිල්‌ අයියා පැවැසුව ද මුහුණේ එතරම්‌ ප්‍රසන්න බවක්‌ දක්නට ලැබුණේ නැත.

මම එදා මධ්‍යම රාත්‍රිය වන තුරු සියලුම ගීතවල සංගීත සංයෝජනය නිමකොට ස්වර ලිපි සකස්‌ කොට නන්දා අක්කාට භාර දී ආවෙමි. ඊළඟ සතියේ පුවත්පත්වල මේ “සංඛ පද්ම” වැඩසටහන පිළිබඳ පූර්ව දැන්වීම්‌ සහිත විස්තරය පළ වී තිබිණ. ඒ කිසිවක්‌ තුළ මගේ නමවත්‌ සඳහන්‌ නොවීම මට මහත්‌ සිත්‌ වේදනා ගෙන දුන්නේය.

මර්‌වින්‌ පෙරේරා සංගීතය මෙහෙයවන බවත්‌, එම්‌.කේ. රොක්සාමි, පියදාස අතුකෝරල, නිහාල්‌ ජයවර්ධන, ග්‍රේෂන්‌ ආනන්ද, සුසිල්‌ පෙරේරා, දර්‌ශනී චන්ද්‍රසේන හා කරුණාරත්න ජයසිංහ ආදී වාද්‍ය ශිල්පීන්‌ දායක වන බවත්‌ ඒ විස්තරවල පළ වී තිබිණ. විකාශය වූ පසු “සංඛ පද්ම" වැඩසටහනේ සෑම ගීතයක්ම අතිශයින්‌ ජනප්‍රිය විය. ඒ පිළිබඳ “හුදකලාවම” මම සතුටු වූයෙමි. එහෙත්‌, මා තුළ දැඩි කලකිරීමක්‌ ඇති විය. මේ තරමට මාව ප්‍රතික්ෂේප කෙරෙතැයි මොහොතකටවත්‌ සිතුවේ නැත.

එතැන්‌ සිට වසර 6 ක්‌ පමණ පුරා මා නන්දා අක්කා සමඟත්‌, සුනිල්‌ අයියා සමඟත්‌ සිනාසුණේවත්‌, කතා කළේවත්‌ නැත. ඒ අතරතුර කාලයේ නන්දා අක්කාගේ කිසිදු කැසට්පටයකට මා හවුල්‌ වූයේ නැත. සින්ග්ලංකා සමාගම තුළින්‌ එළි දැක්වුණු සියලු කැසට්පට පටිගත කිරීම්‌ සංවිධානයේ දී මැදිහත්ව කටයුතු කිරීම මගේ රාජකාරියක්‌ වුව ද නන්දා අක්කාගේ කැසට්පට නිෂ්පාදනය කෙරෙද්දී කුලේ මා වෙනුවෙන්‌ සම්පූර්ණ කටයුතු භාරගෙන කටයුතු කළේය. “හේමන්තයේදී”, “පවන”, “තාරකා ඇස්‌” ආදී කැසට්පට නිෂ්පාදනය වූයේ මේ කාලය තුළය.

මේ විරසකයේ අතුරු ඵලයක්‌ ලෙස වාද්‍ය ශිල්පීන්‌ අතර විශාල දෙබෑ වීමක්‌ සිදුවිය. සත්‍යයේ ගීතයේ "වර්‌ජක කණ්ඩායම" විසින්‌ “සංඛපද්ම” රූපචාහිනී වැඩසටහනට සම්බන්ධ වූ වාද්‍ය ශිල්පීන්ට එරෙහිව දැඩි ක්‍රියා පටිපාටියකට එළැඹියේ කිසිම පටිගත කිරීමක දී හෝ ප්‍රසංගයක දී හෝ “සංඛ පද්ම" පිරිස සමඟ එකට වාඩි නොවන බවට තර්‌ජනාත්මක තීරණයක්‌ ප්‍රසිද්ධ කිරීමෙනි. මේ බෙදීම නිසා පටිගත කිරීමේ ක්ෂේත්‍රයේ සෑහෙන අවුල්‌ වියවුල්‌, කලහ ඇති වූයේ ඉතා කනගාටුදායක ලෙසය. ඔය අතරතුර එහා මෙහා ගිනි අවුළුවන කේලම්කරුවෝ ද පල ප්‍රයෝජන ලබා ගත්හ.

මේ සියලු සිදුවීම්‌ දෙස ඉතා සුපරික්ෂාකාරී විපරමින්‌ බලා සිටි මම හැකි තරම්‌ නිගඟඬව උපේක්ෂා සහගතව කටයුතූ කරන්නට උත්සාහ කළෙමි.

පණ්ඩිත්‌ අමරදේවයන්ගේ "ආදර හැඟුම්‌” කැසට්පටයේ සංගීතය සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ මාය. එහි ඇතුළත්‌ වූ "බුද්ධ දිචාකරයාණෝ” ගීතයේ එක්‌ පද පේළියක්‌ ගායනා කර තිබුණේ නන්දා අක්කාය. “පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධී” යන ඒ පේළියේ හඬ පටිගත කරවා ගැනීම ගැටලුවක්‌ වූයේ අප එකිනෙකා කතා නොකරන නිසාය. කෙසේ වෙතත්‌ මෙය කළ යුතුම කාර්යයක්‌ වූ බැවින්‌ කුලේ, නන්දා අක්කාව එවකට නුගේගොඩ “උඩරට ටී හවුස්‌" තිබුණු ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ පිහිටි “නෙකෝ” ශබ්දාගාරයට කැඳවාගෙන ආවේය. නන්දා අක්කා කෙළින්ම ගියේ මයික්‍රෆෝනය වෙතටය. "හෙඩ්ෆෝනය” පැලඳ ඇය නියමිත ස්ථානයේ ඒ පේළිය ගායනා කළාය. කුලේත්‌, මමත්‌, ශබ්ද පරිපාලක බේන්ස්‌ මහතාත්‌ පටිගත කිරීමේ මැදිරියේ හිඳ අසා සිටියෙමු. නන්දා අක්කා වරක්‌ ගායනා කොට “හරි ද කුලේ?" යනුවෙන්‌ අසයි. කුලේ මා දෙස බලයි. “තව පාරක්‌ ගනිමු” මා බේන්ස්‌ මහතාට යෝජනා කරයි. නැවත නන්දා අක්කා එය ගායනා කොට හරිදැයි කුලේගෙන්‌ අසයි. ඔය ආකාරයෙන්‌ තුන්වන වර ඉතා මධුර ආකාරයෙන්‌ එය පටිගත වීමත්‌ සමඟ මා “ඕ.කේ. මිස්ටර්‌ බේන්ස්‌” යැයි කී පසු කුලේ ඒ බව නන්දා අක්කාට පැවැසුවේය. නන්දා අක්කා “මම යනවා කුලේ” යැයි පවසා කෙළින්ම එළියට ගියාය. දැන්‌ මේ ජවනිකා සිහිපත්‌ වෙද්දී හිත යටින්‌ සිනා යන අතර, තරමක ලැජ්ජාවකුත්‌ ඇති වන බව කිව යුතුය.

සීමාසහිත සින්ග්ලංකා සමාගමට වසර 10 ක්‌ පිරීම නිමිතිකොටගෙන මහ ඉහළින්‌ එය සමරන්නට අපි තීරණය කළෙමු. "පටිගත කිරීමේ හා තැටිගත කිරීමේ ඉතිහාසය” අලළා ඓතිහාසික හා අධ්‍යාපනික වැදගත්කමකින්‌ යුතු ප්‍රදර්‌ශනයක්‌, කැසට්‌ සල්පිලක්‌ හා දැවැන්ත සංගීත සංදර්‌ශනයක්‌ පැවැත්චීමට අපි තීරණය කළෙමු. කුලේටත්‌, මටත්‌ මෙය තනිව කළ හැකි දෙයක්‌ නොවීය. මෙහි දී ද අපගේ හිත මිතුරු "සද්ජන සංගමයේ” අය ඇතුළු බොහෝ දෙනෙක්‌ අපට සහය වූහ. ප්‍රදර්‌ශනයේ කටයුතු සඳහා එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල එනතුරු සිටි රංග කලංසූරිය ඇතුළු ඔහුගේ සගයින්‌ පිරිසක්‌ ද ඉතා කැපවීමෙන්‌ යුතුව අපට උදව්‌ කළෝය.

අවසන්‌ දින සංදර්‌ශනයේ සංගීතය මෙහෙයැවීම කළ යුතු වූයේ මාය. කුලේ, මා සමඟ ඒ ගැන කතා කළේ “මචං අපේ ෂෝ එක කිසිම ප්‍රශ්නයක්‌ නැතිව ලස්සනට කරන්න ඕන. ඉතින්‌ ඔය පරණ නෝක්කඩු අල්ලලා දාලා කවුරුත්‌ එකතු වෙලා හොඳ දෙයක්‌ කරමු” යැයි මට පොඩි අවවාදයක්‌ ද දෙමිනි. මම ඒ ගැන සිතන්නට වීමි. බන්ධුල නානායක්කාරවසම්‌ මීට කලකට ඉහත දී කී දෙයක්‌ ද මේ අවස්ථාවේ මට සිහිපත්‌ විය. “රෝහණ අයියලාගෙ, නන්දා අක්කලාගෙ ඔය විරසක වීමෙන්‌ රසිකයෝ හැටියට ඉන්න අයට කරන්නෙ ලොකු අසාධාරණයක්‌ නේද? බලන්න ඔයගොල්ලො එකතු වෙලා හදපු ගීත කොච්චර ලස්සන ද කියලා? තව තව ඒ වගේ ඒව හැදුණ නම්‌ මිනිස්සු කොච්චර රස විඳිනව ද?" බන්ධුල කීවේ චෝදනා ස්වරයෙනි. මේ ප්‍රසංගයේ පුහුණුවීම්‌ කළ යුතුය. ශිල්පීන්‌ සමඟ සුහදශීලීව සම්බන්ධ විය යුතුය. සතුටින්‌ හා විනෝදයෙන්‌ මේ කටයුත්ත නිමා කළ යුතුය. මම තීරණයකට එළඹුණෙමි.

මම නන්දා අක්කාට දුරකථනයෙන්‌ කතා කළෙමි. “නන්දා අක්කා මොනවද අපේ ෂෝ එකේ සිං කරන්නෙ?" මම ඇසුවෙමි. නන්දා අක්කා ද කිසි වගක්‌ නැතුව “මගේ සඳ ඔබ කියමු නේද රෝහණ" යැයි කීවාය. වසර හයක විරසකය මේ දෙබසින්‌ පසු නිමා විය. සින්ග්ලංකා දශකය නිමිත්තෙන්‌ පැවැත්වුණු ප්‍රසංගය ඉතා ඉහළින්‌ පැවැත්විණි.

නොබෝ දිනකින්‌ නන්දා අක්කාගේ නවතම කැසට්පටයේ කටයුතු ඇරැඹිණ. මට ද එහි ගී කීපයක්‌ නිර්මාණය කිරීමට භාර විය. දීර්ඝ කාලයකට පසුව අත ගැසූ කටයුත්ත ඉතා උනන්දුවෙන්‌ ඉටු කර දුන්‌ මා “අහස සේ ඔබ අනන්තයි” නමැති, අදටත්‌ මා මගේ තනු අතරින්‌ වඩාත්ම ප්‍රිය කරන තනුවක්‌ වූ ගීතය ඇතුළුව ගීත 3 ක්‌ නිර්මාණය කර දුනිමි. එතැන්‌ පටන්‌ ඇයගේ සියලු සංගීතමය පටිගත කිරීම්‌, සංදර්‌ශන ආදී සියල්ලෙහි මූලිකත්වය ලැබුණේ මටය. ඇය වෙනුවෙන්‌ මේ වන විට මා නිර්‌මාණය කරන ලද ගීත සංඛ්‍යාව 150 කට ආසන්නය. මගේ නිර්‌මාණ තුළින්‌ ඇයට ලැබුණු සිනමා හා ටෙලිනාට්‍ය සම්මාන බොහෝය. ඇය වැනි මුළු ජාතියේම ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ජ්‍යේෂ්ඨ ශිල්පිනියක හා එක්ව නිර්මාණ කටයුතු කිරීමෙන්‌, විදේශ සංචාර තුළින්‌ මට ලැබුණු ගෞරව ප්‍රණාම ද බොහෝය. “අඬහැරය” වැනි පර්‌යේෂණාත්මක කෘතීන්‌ තුළින්‌ මට ලැබුණු ආලෝකය ඉමහත්ය.

බන්ධුල නානායක්කාරවසම්ගේ චෝදනාවේ සත්‍යය මට පසක්‌ වී ඇත. කුලේගේ අවවාදය ප්‍රතිඵලදායක වී ඇත. කල්‍යාණ මිත්‍ර සේවනයේ පලය එය නොවේ ද?

============================================
සටහන:
තිස්සසිරි - තිස්සසිරි පෙරේරා (වයලීනය සහ සරපුවරුව)
කලණි - කළණි පෙරේරා (වයලීනය)
ගුණසේන - ඩී ඩී ගුණසේන (වයලීනය)
ජයවර්ධන - එච් එම් ජයවර්ධන (බටනලා)
ජයසිංහ - කරුණාරත්න ජයසිංහ (තබ්ලා)
============================================