කාගේ සිත නොකෙරෙද ලොල?

කිනිර | Jan. 19, 2021

සැළලිහිණී සන්දේශය ඇසුරෙන් ඩබ්ලිව් ඒ. අබේසිංහ රචනා කළ රස බස් මියුරු ගීතය නන්දා මාලිනිය විසින් තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය කර ගායනා කළ ගීත සියයකට ආසන්න සංඛ්‍යාවෙන් එකක්. නන්දා මාලිනී ගී තනු නිර්මාණයට පෙළඹෙන්නේ වෙනත් විකල්පයක් නැති වූ නිසා.

"1960 දශකයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින්‌, විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක ලෙස මා ශ්‍රේණි ගත කළ පසු, මසකට වරක්‌ අඩහෝරාවක සරල ගී වැඩසටහනක්‌ මා විසින්‌ ඉදිරිපත්‌ කළ යුතු විය. මේ සඳහා ගීත රචනා තෝරා ගැනීම මෙන්‌ ම ප්‍රවීන සංගීතඥයන්‌ ලවා ගී තනු නිර්මාණය කර ගැනීම ද දුෂ්කර කාරියක්‌ විය. මේ නිසා මගේ සරල ගී වැඩ සටහන්‌ සඳහා මගේ ම තනු නිර්මාණය කරන්නට මට සිදු විය. එමතු නොව ඒවායෙහි සංගීත සංයෝජනය කොට, අධ්‍යක්ෂණය කිරීමට ද මට සිදු විය. මගේ මුල්‌ ම සරල ගී වැඩ සටහනක්‌ සඳහා මා නිර්මාණය කළ "සකුරා මල්‌" නමැති ගීතය අතිශයින්‌ ජනාදරයට පාත්‍ර වූයේ ය. තනු නිර්මාණ ක්‍ෂෙත්‍රයේ දී මා ලබා ගත්‌ ප්‍රථම ජයග්‍රහණය ලෙස එය සැලකිය හැකි ය. එයින්‌ දිරිමත්‌ වූ මට තවත්‌ ගී තනු රැසක්‌ රසිකයන්‌ හමුවේ තබන්නට හැකි විය."
- (නන්දා මාලිනී ගී තනු නිර්මාණ කෘතියේ පෙරවදන)

සූරිය ලේබලය යටතේ 1974 දී නිකුත් වූ ශ්‍රවනාරාධනා ගී තැටියේ අඩංගු ගීත දහයේම තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය ඇයගේ. නමුත් ඉන් වසර පහකට පසුව සූරිය ලේබලය යටතේම නිකුත් වූ හංස ගීතය ගී තැටියේ ගීත දොළහේම ගී තනු සහ සංගීතය වෙනත් සංගීතඥයන්ගේ.

"එහෙත්‌ දශක ගණනාවක්‌ තිස්සේ මා නිර්මාණය කළ ගී තනු සංඛ්‍යාව අල්ප චීමට හේතුව නම්‌ මගේ නිර්මාණ ගැයීමට වඩා වෙනත්‌ සංගීතඥයන්ගේ ගී තනු නිර්මාණ ගැයීමට එදා මෙදා තුර මා තුළ පවත්නා බලවත්‌ ඇල්ම යැයි කිව හැකි ය."
- (නන්දා මාලිනී ගී තනු නිර්මාණ කෘතියේ පෙරවදන)

ඉන් පසු 1986 වන තෙක්ම ඇයගේ ගී තැටි, කැසට් පට සහ ගුවන් විදුලි සරල ගී වැඩ සටහන් වල ගීත කිසිවකට ඇය තනු නිර්මාණය කළේ නෑ. නමුත් 1986 ජූනි මාසයේ සින්ග්ලංකා ලේබලය යටතේ නිකුත් වූ හඳහාමී ළමා ගීත එකතුව තුලින් ඇය නැවත ගීත නිර්මාණකරණයට එනවා. මෙය හේතු කිහිපයක් නිසා සිදු වුණ බව මගේ අදහසයි. එක හේතුවක් නම් සත්‍යයේ ගීතය ප්‍රසංගයේ අවසාන කාලයේදී ඇය සමග කිට්ටුවෙන් කටයුතු කළ සංගීත නිර්මාණකරුවන් සහ සංගීත ශිල්පීන් සහ ඇය අතර ඇති වුණ සිත් අමනාපකම්. අනෙක් හේතුව හැටියට මා දකින්නේ ළමා ගීත කෙරෙහි ඇයගේ ඇති විශේෂ බැඳීමයි. 1979දී තම හංස ගීතය ගී එකතුවට වෙනත් සංගීතඥයන්ගේ ගී නිර්මාණ තෝරා ගත් ඇය, එම වසරේම නිකුත් වූ ළමා ගී ඊ.පී. තැටියේ ගී හතරේම සංගීත නිර්මාණය තමන් විසින්ම කළ බවත් මෙහිදී කිව යුතුයි.

Handahaamee Cassette Cover

හඳහාමී ගීත එකතුවේ ගීත සියල්ලම ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ එස් මහින්ද හිමි විසින් රචිත ළමා කවි ගීත. මේ ගී සියල්ලෙහිම ගී තනු ඉතාම මිහිරියි. සංගීත සංයෝජනයත් ඉතාම සරලයි.

"ගී තනු නිර්මාණයේ දී තනුවේ මිහිර මෙන්ම ළදරු මනසට, ළදරු මුවට උචිත සරල බව හා සැහැල්ලු බව ගැනද සැලකිලිමත් වී තිබෙනවා. මෙහි එන ගීත දාහතරේ තනු නිර්මාණයෙහි දී උත්තර භාරතීය සංගීතයේ විකෘති ස්වර කිසිවක් ඇසුරු නොකිරීම එම සරල බව සොයා යෑමේ ඵලයක්."
- (හඳහාමී කැසට් පට කවරයේ සටහන්)

හැම ගීතයකටම භාවිතා කර ඇත්තේ තනි වයලීනය, පියානෝව, බටනලාව, සිතාරය, ගිටාරය, ජල තරංග, ග්ලොකන්ස්පීල් වැනි භාණ්ඩ අතුරින් කිහිපයක් පමණයි. ගීත කිහිපයකම තාල වාද්‍ය භාණ්ඩ කිසිවක් භාවිතා කර නෑ. මේ ගී එකතුවේ වාදන ඝිල්පීන් හැටියට චිත්‍රා මලලසේකර (පියානෝව), දිගු කලක් නිහඬව සිටි එම් කේ. රොක්සාමි (වයලීනය) සහ පියදාස අතුකෝරළ (සිතාර්, ජල තරංග), සහ නිහාල් සී ජයවර්ධන (බටනලා) දායක වුණා.

මේ වගේ අගනා ගීත රචනා සහ සංගීත නිර්මාණ වලින් සුසැදි, අති දක්ෂ වාදන ශිල්පීන්ගේ දායකත්වයෙන් ඔප් නැංවුණු ගීත එකතුවකට "කාගේ සිත නොකෙරෙද ලොල"?

රෝස ගසින් මල් අවලා
තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා
දෑස කුමට මෙය නොබලා
ලොල් වඩමූ මල් කඩමූ
වැල් ගොතමූ බෙල්ලෙ ලමූ

මාගේ නංගිගෙ කම්මුල
වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල
කාගේ සිත නොකෙරෙද ලොල
ලොල් වඩමූ මල් කඩමූ
වැල් ගොතමූ බෙල්ලෙ ලමූ

මෙන්න මෙ හොර මී මැස්සා
පැන්නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා
යන්නට දෙමු මල ගස්සා
[[[ ලොල් වඩමූ මල් කඩමූ
වැල් ගොතමූ බෙල්ලෙ ලමූ ]]]

කුමාරතුංග මුනිදාස / නන්දා මාලිනී / නන්දා මාලිනී