මල් රූ වරුණී

කිනිර | Jan. 15, 2021

වික්ටර් රත්නායකයන් ගායනා කළ සැළලිහිණී සන්දේශයට සෘජුවම සම්බන්ධ ගීත දෙකෙක් ගැන මා පහුගිය දවසක සඳහන් කළා. ඉන් එකක් වන පුලා සුවඳ මලවුල් කර ගීතය සැළලිහිණී සන්දේශයේ කවි තුනක් එහෙම පිටින්ම ගායනා කිරීමක්. නමුත් අනෙක් ගීතය වන ලප නොමවන් සඳ සේ ගීතය නම් සැළලිහිණී සන්දේශයේ කවි කිහිපයක් ඇසුරෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ රචනා කළ ගීතයක්. ගීතයේ පද වැල මෙහෙමයි -

[[ ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනි
ඔප ලූ ගත හෙල්මැලි මල් සිරිනී
සැප රිසි දෙන රස බස් සිතුමිණෙනී
සකිසඳ සියුමැලි මල් රූ වරුණී ]]



ඉන්ද්‍ර නීල වලාගැබින් එන සැළලිහිණී
ඉන්ද්‍ර චාප යානාවෙන් එන සැළලිහිණී
ඉන්ද්‍ර නීල මැණිකක් සේ බබලන යෙහෙනී
ඉන්ද්‍ර නීල ගගන තලෙන් එන සැළලිහිණී

ලප නොමවන්...

හසුනක් ඇත ලෝ වැඩ සලසාලන නිතිනේ
සකිසඳ එ හසුන තොප ගෙන යායුතු වන්නේ
එ හසුන පැසළුව පවසමි හද පිරි රුතිනේ
මගතොට සලකුණු දැන් අසනුව සකිසඳිනේ

ලප නොමවන්...

ගීතයේ මුල් කවිය සැළලිහිණී සන්දේශයේ 3 වන කවිය ඇසුරෙන්. දෙවෙනි කවිය නම් සැළලිහිණී සන්දේශයේ කවි ඇසුරෙන් නොවන බවයි පෙනෙන්නේ. තුන් වැනි කවිය සැළලිහිණී සන්දේශයේ 4 සහ 6 කවි ඇසුරෙන් ලියා ඇති බව පෙනෙනවා. මේ ඒ කවි වල අදාල කොටස්:

3. ලප නොම වන් සඳ වන් සොමි ගුණෙනී
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි

4. සිතු නතු කර අස යහළුව වඩන රුති

6. එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට

මේ ගීතය ඩබ්ලිව්. ඒ. අබේසිංහ ගීත රචනා කර අමරදේවයන් සංගීතවත් කළ කිසියම් වැඩසටහනක (ස්වර වර්ණ ?) අඩංගු ගීතයක් බවත් අනුමාන කරන්න පුළුවන්. නීලා වික්‍රමසිංහගේ කට හඬ ගායන වෘන්දයේ හඬවල් අතර ඇහෙනවා.
ගුවන් විදුලියේ තැටි LS10198, LS10199, LS10200 වල මෙම වැඩ සටහනේ ගීත විය යුතුයි. මේ තැටි වල එන සියළුම ගීත ඩබ්ලිව්. ඒ. අබේසිංහ රචනා කර අමරදේවයන් සංගීතවත් කළ ගීත. ලප නොමවන් සඳ සේ ගීතයත් ඉන් එකක්.

ඩබ්ලිව්. ඒ. අබේසිංහ ගේ එකතු කළ කවි සහ ගීත පොතේ මේ ගීතයට දී ඇති නම "මල් රූ වරුණී".

ගීතය අහන්නට පියසිරි ගූණසිංහ මිතුරාගේ soundcloud ගීත එකතුවට පිවිසෙන්න.