ලප සඳ, ළය සඳ, වික්ටර් සහ සැළලිහිණිය

කිනිර | Jan. 11, 2021

වික්ටර් රත්නායක සා නන්දා මාලිනී ගායනා කළ මී මැස්සෝ චිත්‍රපටයේ අඩංගු ගීතයක් වන දිවි මැදුරේ සඳළූතලේ ගීතය පහුගිය දිනක අපි කතා කළා. මේ ගීතයේ ඇති එක පදයක් වන "ලප සඳ වන් හද ආලෙන් බැඳුනේ" යන්නෙහි තේරුම ගැටළු සහගතයි.

මා ගීතය ඉදිරිපත් කළාට පසුව ධර්මසිරි ගමගේ ගේ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා පොතේ තිබී ගීතයේ පදමාලාව හමුවුනා. එහි ඉහත පදය "ළය සඳ වන් හද ආලෙන් බැඳුනේ" ලෙස සටහන් කර තියෙනවා. ළය සඳ වන් හද කියන එකේ නම් කිසි තේරුමක් නෑ කියලයි මට හිතුනේ. සරසවි සිංහල ශබ්දකෝෂයට අනුව ලය කියන වචනයේ තේරුම් ගෙවී යාම, නැතිවී යාම විය හැකියි. එහෙම ගත්තොත් "ලය සඳ වන් හද" කියන එකේ කිසියම් තේරුමක් ගන්නට පුළුවන්.

වික්ටර් රත්නායකයනුත් සැළලිහිණි සන්දේශය ආශ්‍රයෙන් ගීත දෙකක්ම ගායනා කර තියෙනවා. ඉන් එකක් ගැන නම් මා කලින් ලිපිය ලියද්දී දැන සිටියේ නෑ. අනෙක ගැන නම් අමතක වෙලයි තිබුණේ. අමතක වූ ගීතය සැළලිහිණි සන්දේශයේ එන කවි තුනක් (73, 74 සහ 75) එහෙම පිටින්ම (අකුරක දෙකක වෙනසක් පමණක් සහිතව) ගායනා කර ඇති "පුලා සුවඳ මලවුල් කර" ගීතයයි.

73. පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬල කල්බඳ

74. විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන(1) සිළු වැනි රඟන ලිය සැදී

75. ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු(2) සියල්ලා

ගායනා කර ඇත්තේ මෙලෙසයි.
(1) පහන්
(2) රූසිරි
ඊට අමතරව මඬළැ, අතැ, පුළුලුකුළැ ආදී වශයෙන්ද ගායනයේ සුළු වෙනස්කම් තිබුණත් ගායනය නිවැරදිද අන්තර්ජාලයේ ඇති කවි නිවැරදිද යන්න හරියටම කියන්නට නම් සැළලිහිණී සන්දේශයේ මුල් පිටපත සොයා යා යුතුය.

එක් එක් කවි වල පද වලට ගැලපෙන පරිදි ගීතයේ තාලය කවියෙන් කවියට වෙනස් කර ඇති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.