ත්‍රී සිස්ටර්ස් සහ ටූ මල්ලිකාස්

කිනිර | Jan. 6, 2021

මල්ලිකා පෙරේරා සාමා චිත්‍රපටයේ වනන්තරේ ගල් අරණේ විමානෙට ගීතය ගායනා කළේ ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම බිහිවන්නට කලිනි. ඇය තවත් චීත්‍රපට කිහිපයක ගීත ගායනා කර තිබුණත් ඒවා එතරම් ජනප්‍රිය ගී නොවිනි. ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම ජනප්‍රියත්වයේ ඉහළම තැනක සිටි නිසා තනිවම ගී ගායනා කිරීමේ අවශ්‍යතාවයක්ද නැති වූවා වෙන්නට පුළුවන.

එහෙත් 1973දී තිරගත වූ ගොපළු හඬ චිත්‍රපටයේ (ළමා) ගීතයක් මල්ලිකා කහවිට සමග ගායනා කිරීම සඳහා ඇය ඇරයුම් ලැබුවාය. හින්දි අනුකාරක ගීතයන් වන මගෙ නාමලී බැඳි ආදරේ (ධර්මසිරි ගමගේ / හරූන් ලන්ත්‍රා), ගංතීරේ ගංගාවේ හෙවත් නිල් නිල් පාරු තොටිල්ලේ (සුජාතා අත්තනායක), සහ ටූ මල්ලිකාස් ගායනා කළ පුංචි පුංචි මල් වගේ ගීතය චිත්‍රපටයේ ගීත 7 අතුරින් වඩාත්ම ජනප්‍රිය වූ ගීත විය.

චිත්‍රපටයේ ගීත රචනා කර ඇත්තේ ධර්මසිරි ගමගේ, සිරිල් ඒ. සීලවිමල, ශ්‍රී නිහාල් ජයසිංහ ලෙස සඳහන්ව ඇතත් ඉන් කවරෙක් පුංචි පුංචි මල් වගේ ගීතය රචනා කර ඇත්දැයි හරියටම සඳහන් කර නැත. ධර්මසිරි ගමගේ මහතාගේ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ගී පොතේ මගෙ නාමලී ගීතය ගැන සඳහන්ව ඇතත් චිත්‍රපටයේ අනෙක් ගීත ගැන කිසි සඳහනක් නැත. ඒ අනුව ගීතය සිරිල් ඒ. සීලවිමල, ශ්‍රී නිහාල් ජයසිංහ යන දෙදෙනාගෙන් කෙනෙකු රචනා කළ බව අනුමාන කළ හැකිය.

මගෙ නාමලී සහ ගංතීරේ ගංගාවේ (සුජාතා අත්තනායක) ගීත දෙක මෙන් මෙයද හින්දි අනුකාරක ගීතයක් විය හැක. ගීතයේ පද රචනය හෝ සංගීතය ගැන වැඩි විස්තර ඇතිනම් දන්වන්න.

wdssongs යූ ටියුබ් නාලිකාවේ තිබී මේ ගීතයේ මුල් පිටපත සොයා ගත හැකි විය. සුළු වශයෙන් පිරිපහදුවට ලක් කොට මෙසේ ඉදිරිපත් කරමි.

=====================================================

පුංචි පුංචි මල් වගේ රංචු රංචු වී
මල් කුමාරියන් වටේ මල් කුමාරයෝ
පුංචි පුංචි සමනලුන් රංචු රංචු වී
මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ

රෑ දවල් දෙකේ මෙසේ වෙහෙස වී සොයා
තාත්ත වාගෙ මා තමයි මේ පැලේ රජා
අම්ම වාගෙ බත් උයා දුකයි සැපයි සොයා
මේ ගෙවල් තනා හදා ප්‍රීතියෙන් ඉමූ

පුංචි පුංචි සමනලුන්...
පුංචි පුංචි මල්...

නැන්ද ලේලි වාගෙ මේ රණ්ඩු වෙන්නෙ ඇයි
රණ්ඩු වෙන්න ඕනෙ නෑ සමගි වෙන්න දැන්
හොද්ද ඉදෙනකම් තමයි දබර කම් අපේ
රණ්ඩු දබර හා නිමයි පවුල් ජීවිතේ

පුංචි පුංචි සමනලුන්...
පුංචි පුංචි මල්...

?? / ආර්. මුත්තුසාමි(?) / මල්ලිකා කහවිට, මල්ලිකා පෙරේරා