මගෙ දිවි පැතුම හිස් ගුවනේ ඉගිල්ලේ

කිනිර | Jan. 4, 2021

සාමා වේදිකා නාට්‍යය කලා පෙළ තරුණ එකමුතුව විසින් නිර්මාණය කළ ප්‍රථම වේදිකා නාට්‍යයයි. නාට්‍යයේ සාර්ථකත්වය නිසා එය පසු කලෙක චිත්‍රපටයක් ලෙසටද නිෂ්පාදනය විය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කලා පෙළ නියමුවා වූ ජී ඩී එල් පෙරේරා විසිනි. චිත්‍රපටයේ ගීත දෙකක් අඩංගු විය. ආශා දෑසින් දකිනා සිහිනේ සහ වනන්තරේ ගල් අරණේ විමානෙට ඒ ගීත දෙකයි.

මෙයින් වනන්තරේ ගල් අරණේ විමානෙට ගීතය රචනා කළේ කලා පෙළ සහාය නියමුවා ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා විසිනි. ගීතය ගායනා කළේ මල්ලිකා පෙරේරා යි. ඇය පසු කලෙක ත්‍රී සිස්ටර්ස් නමින් බිහිවූ සංගීත කණ්ඩායමේ තුන් සොයුරියන්ගේ වැඩිමහල් සහෝදරිය විය. බොහෝ තැන්වල මෙය මල්ලිකා කහවිට ගායනා කර ඇති බව වැරදියට සඳහන් වී ඇත. (මල්ලිකා කහවිටගේ විවාහයට පෙර නම මල්ලිකා ද සිල්වා විය.)

"මේ ගීතය ලියන්න මට ඇරයුම් කළේ ජී ඩී එල් පෙරේරා. මෙය එදා ගුවන් විදුලියේ ඉතාම ජනප්‍රිය වුණා. ඒත් ටික කලකින් ගීතය අතුරුදහන් වුණා. කිසියම් පුද්ගලයෙක් මේ ගී තැටිය ගෙදර අරගෙන ගිහින් නැවත වාදනය කරන්න බැරි විදිහට ඉරි ඇඳලා යළි ගබඩාවට බාරදී තිබෙන බව මගේ අතිජාත මිත්‍රයෙක් වූ ඩෝල්ටන් අල්විස් දවසක් මට කීවා."
(නව සිනමාවක සොඳුරු පෙරවදන - සුගත්, 44 පිටුව)

මේ ගීතය 2005 වසරේ පමණ VPC ලේබලයෙන් නිකුත් වූ සුවඳැති ගී ගීත එකතුව සඳහා නැවත පටිගත කරන ලදි. එය ගායනා කළේ මල්ලිකා පෙරේරාගේ දියණිය වන හිරණ්‍යා වර්ණකුලසූරිය විසිනි.

චිත්‍රපටයේ හඬ පටයේ ඇති මේ ගීතයේ මුල් පිටපත තරමක දුර්වල තත්වයේ ඇත.එල් කේ හෙට්ටිආරච්චි මහතා විසින් ඔහුගේ යූ ටියුබ් නාලිකාවට එකතු කර ඇති පිටපතද ගී තැටි වලට ආවේණික වූ "චර චර" හඬින් ගහණ ය. මේ පිටපත් දෙකින් කොටස් ගෙන පිරිපහදු කර ගීතය ප්‍රතිස්ථාපනය (restore) කිරීමට මා ගත් උත්සාහයේ ප්‍රතිපලයයි මේ.

==================================================

වනන්තරේ ගල් අරණේ විමානෙට
නිරන්තරේ යන ගමනේ නිමාවට(*)
හෙමින් සැරේ මග අවුරා මුවා කොට
නුවන් පිරේ ගිනි තබලා විමානෙට
වනන්තරේ

අකල් වැස්ස බිම දෙගොඩට බෙදුවා දෝ
පූදින මලට මළ හිරු රැස් හෙළුවා දෝ
ඉරණම සිනාසී මට පිටු පෑවා දෝ
මේ ගින්දරක් කවුරුන් මට දුන්නා දෝ

වනන්තරේ...

තනිකම මැකේ උණුසුම ඇති තුරුල්ලේ
සැනසුම තිබේ මුදු මදු මල් පියල්ලේ
බිය සැක ලුහුබඳී සිටියත් සෙවිල්ලේ
මගෙ දිවි පැතුම හිස් ගුවනේ ඉගිල්ලේ

වනන්තරේ...

සුගතපාල සෙනරත් යාපා / ජයතිස්ස අලහකෝන් / මල්ලිකා පෙරේරා

[ * මල්ලිකා පෙරේරා පැහැදිලි ලෙස නිමාගට ලෙස ගායනා කර ඇති නමුත් බොහෝ තැන්වල මෙය සඳහන් වී ඇත්තේ නිමාවට ලෙසිනි. නිම සහ අග යන වචන දෙකේම අරුත සමාන නිසා නිමාගට (නිමාගට = නිම + අගට) කියා කීමට අවශ්‍යතාවයක්ද නැත. ]

ප්‍රතිස්ථාපනය කළ ගීතය

චිත්‍රපටයේ හඬ පටයෙන් උපුටා ගත් ගීතය

මල්ලිකා පෙරේරාගේ දියණිය වන හිරණ්‍යා වර්ණකුලසූරිය ගායනා කළ ගීතය

එල්. කේ. හෙට්ටිආරච්චි යූ ටියුබ් නාලිකාවේ ගීතය