නව අවුරුදු මනාලියට කිරිත් පැණිත් මුට්ටියා

කිනිර | Jan. 1, 2021

අවුරුද්ද ගැන නිර්මාණය වූ ගීත බොහොමයක් තිබුණත්, ඒවායින් අති බහුතරය බක් මාසයේ එන සිංහල හින්දු අළුත් අවුරුද්ද ගැන නිර්මාණය වුන ගීතයි. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන දවසින් දවසට කොළයෙන් කොළයට ජනවාරි අවුරුද්ද ගැන කියා සළකන්නට පුළුවන් නමුත් ගීතයේ කියැවෙන්නේ දින දසුනක කොළ ගැලවී යන ආකාරයට ටිකෙන් ටික වියැකෙන ආදරයක් ගැනයි. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන අවුරුද්දක් ගෙවුණු තැනේ ගීතය නම් ජනවාරි සහ අප්‍රේල් අවුරුදු දෙකටම ගැලපෙනවා.

ජනවාරි අවුරුද්ද ගැන සඳහන් වන වෙනත් ගීත හොයමින් මගේ ගීත එකතුව පීරන විට තවත් අප්‍රකට ගීත දෙකක් හොයාගන්නට පුළුවන් වුණා. මේ එයින් එක් ගීයක්. උඳුවප් සහ දුරුතු මාස ගැන කියැවෙන නිසා මේ ගීතය ජනවාරි අවුරුද්ද ගැන කියා සළකන්නට පුළුවන්.

මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ප්‍රකට කෙළි ගීයක්:
අතුරු මිතුරු දඹදිවතුරු
රාජ කපුරු සෙට්ටියා
අළුත ගෙනා මනමාලී
හාල් පතක් ගරාලා
ඉහල ගෙටත් බෙදාලා
පහල ගෙටත් බෙදාලා
......

මුල් කෙළි ගීයේ විරිතටම, එහි "අතුරු මිතුරු දඹදිවතුරු" පදයත් කෙලින්ම භාවිතා කරමින් තමයි මේ ගීය රචනා කර තිබෙන්නේ. මුල් ගීයේ ඇති මනමාලිය, ඉහළ ගෙදර, සහ පහළ ගෙදර යන වචන භාවිතා කර ඇති ආකාරය සිත් ගන්නා සුළූ නොවේද?

=============================================

[[ අතුරු මිතුරු දඹදිවතුරු
අත්පුඩි දෙති කට්ටියා
නව අවුරුදු මනාලියට
කිරිත් පැණිත් මුට්ටියා ]]

[[ අහල පහළ මුනුමුනු ලන
රහස් කතා එළිවන්නයි
ඉහළ ගෙදර කුල කුමරිය
දීග තලග දීගන්නයි ]]
සීත කරන උඳුවප් මහ
දුරුතු සිහින මල් ලන්නයි
පහළ ගෙදර කුල කුමරුගෙ
කේන්දරේ ගැලපෙන්නයි

අතුරු මිතුරු...

[[ කාගෙ කාගෙ වුවද සිතේ
ප්‍රාර්ථනා ඉටු වෙන්නයි
දොරින් දොරට ගමින් ගමට
රබන් සුරල් හැඬවෙන්නයි ]]
වරම් ලබා මගෙ සිරිලක
සව් සිරියෙන් ඉතිරෙන්නයි
ලබන අළුත් අවුරුද්දේ
සැමටම සුබ සෙත දෙන්නයි

අතුරු මිතුරු...

?? / ?? / නීලා වික්‍රමසිංහ, ආනන්ද වීරසිරි