සිසින්ද්‍රා

කිනිර | Dec. 26, 2020

1983 අප්‍රේල් මාසයේ යුරෝපයේ රටවල් තුනක සංචාරය කරමින් සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමේ භාග්‍යය සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි සේනාරත්න යුවලට හිමි විය. මේ ප්‍රසංග මාලාවේදී පටිගත කළ ගීත ඇතුලත් කැසට් පටය සින්ග්ලංකා සමාගම එළිදැක්වූ එවන් කැසට් පත පෙළක තුන්වැන්නයි.

මේ ප්‍රසංග මාලාවට රෝහණ වීරසිංහ සිතාරය සහ සරපුවරුවද (keyboard), විජයරත්න රණතුංග තාල තරංගද, ඩී ඩී ගුණසේන වයලීනයද, එච් එම් ජයවර්ධන බටනලාවද වාදනය කරමින් එකතු වුණා.

සරපුවරුව හෙවත් කී බෝඩ් මීට කලින් බටහිර සංගීත කණ්ඩායම් භාවිතා කර තිබුණද පෙරදිග වාදක මණ්ඩලවලට එය එකතු වෙන්නට පටන් ගත්තේ මේ කාලයේදී (එනම් 1980 දශකයේ මුල් භාගයේ). ඒ පහසුවෙන් ගෙන යා හැකි සරපුවරු (portable keyboard) වල ආගමනය සමගින්. මුලදී ඔවුන් භාවිතා කළේ කැසියෝටෝන් (casiotone) වර්ගයේ සරපුවරුක්. මේ ප්‍රසංග මාලාවේදීත් හාර්මෝනියම් වාද්‍ය භාණ්ඩය වෙනුවට භාවිතා කර ඇත්තේ සරපුවරුවයි. නමුත් රෝහණ වීරසිංහ එය වාදනය කරන ශෛලිය හාර්මෝනියම් වාදනය කරන ශෛලියම (දෙපස ඇති ස්වර ස්පර්ශ කරමින්) බැවින් එයින් නැගෙන හඬ ඉතාම මිහිරි බව මගේ අදහසයි.

මේ පටිගත කිරීම් ස්ටීරියෝ ක්‍රමයට කර ඇති බවත් පෙනෙනවා. ප්‍රසංගය ආරම්භයේ එන සිතාර් වාද්‍ය ඛණ්ඩයේ සිතාරයේ හඬ වම් පස සිට දකුණු පසට ධාවනය (pan) කර ඇති බැවින් ස්ටීරියෝ තාක්ෂණය භාවිතා කර ඇති බව පැහැදිලි ලෙස හඳුනා ගන්නට පුළුවන්.

වයලීනයේ හඬ හසු කර ගැනීමට වයලීනයේ තත් වලට කිට්ටුවෙන් ස්ථානගත කළ හැකි ස්පර්ශ මයික්‍රෆෝනයක් (contact microphone) භාවිතා කර ඇති බවත් පෙනෙනවා. සාමාන්‍ය මයික්‍රෆෝනයක් භාවිතා කළ විට ලැබෙන හඬට වඩා පිරිපුන් හඬක් මෙලෙස ලබා ගන්තට පුළුවන්. මේ තාක්ෂණයත් 1980 දශකයේ මුල් භාගයේ ආගමනය වූ තාක්ෂණයක්.

===========================================================

හිරු සඳු පුදන සමනොළ ගිර නැගී වරෙන්
වන දෙව් ලියන්නේ රෑ සිරි බලා වරෙන්
සෙනෙහස ආදරය සොම්නස සොයා වරෙන්
මල් බර වසන්තේ ගී නද අසා වරෙන්
[[[ සමනළයෝ සමනළයෝ ]]]

++++++++++++++++++++++++++++++++++++++++

ආදරය කරුණා දයා ගුණ - සාගරය පරදයි
නොනිවෙනා ගිනි උසුලනා හද මිහිකතද පරදයි
[[[ මාතු පාදං නමාමී ]]]

මුලින් විවරණ ලැබුවෙ බෝසත් - අම්ම කෙනෙකු අතින්
මා හ සමකළ හැකිය අම්මා - පැවසු සේක බුදුන්
අම්මා අම්මා අම්මා
පැවසු සේක බුදුන්
ad-lib: පැවසූ සේක බුදුන්

ආදරය කරුණා...

සෙනෙහසට මුළු ලොවම පූජිත - අම්ම ගෙදර බුදුන්
තබා නළලත දෙපා සිඹ සිඹ - වඳිමු පුදමු බැතින්
අම්මා අම්මා අම්මා
වඳිමු පුදමු බැතින්
ad-lib: අම්මා පුදමු බැතින්

ආදරය කරුණා...

? / ? / සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න