වෛශාඛ මධු

කිනිර | Dec. 24, 2020

1982 වසරේදී එළිදැක්වුණු නන්දා මාලිනියගේ ලන්ඩනයේදී ගැයූ ගී කැසට් පටය සින්ග්ලංකා සමාගමේ එවන් කැසට් පට පෙළක පළමුවැන්නයී. ඊට මාස කිහිපයකට පසුව ඔවුන් අමරදේවයන්ගේ ලන්ඩනයේදී ගැයූ අමර ගී සර කැසට් පටය එළි දැක්වූවා.

අමරදේවයන්ගේ ලන්ඩන් අමර ගී සර ප්‍රසංගය පැවැත්වුණේ වෙසක් පොහෝ දිනයකයි. එහි වාද්‍ය වෘන්දය නන්දා මාලිනියගේ ලන්ඩන් ප්‍රසංගයේ වාද්‍ය වෘන්දයමයි. ගායනයෙන් විමලා අමරදේව සහ පුත් රංජන අමරදේව "ශක්ති ප්‍රමාණයෙන්" දායක වුණා.

මේ ප්‍රසංගයේදී අමරදේවයන් ඇසේ මතුවන ගීතය තරමක වෙනසකින් යුතුව ගායනා කළා. ඒ නමෝ නමෝ බුද්ධ දිවාකරාය යන පාලි ගාථාව ගීතයට මුලින් ආලාපයක් ලෙස ගායනා කරමිනුයි. අමරදේවයන් තවත් බුද්ධ වන්දනා ගීතයක් වන අභිසම්බෝධී ඥාණයෙන් ගීතයටද මෙසේ එම පාලි ගාථාව එකතු කර ගායනා කරනවා.

නමෝ නමෝ බුද්ධ දිවාකරාය
නමෝ නමෝ ගෝතම චන්දිමාය
නමෝ නමෝ නන්ත ගුණන්තවාය
නමෝ නමෝ ශාක්‍ය නන්දනාය

"බුදුරදුන් නමැති සූර්යයා නමදිමි. බුදුරදුන් නමැති චන්ද්‍රයා නමදිමි. අනන්ත ගුණැත්තා නමදිමි. ශාක්‍ය මුනීන්ද්‍රයාණන් නමදිමි" යන්න මෙහි තේරුමයි. (https://divaina.com/2016/05/22/naka04.html)

මේ පාලි ගාථාවේ මූලාශ්‍රය කුමක් දැයි සෙවීමට ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. නමුත් රවීන්ද්‍රනාත්තාගෝරයිනුත් මේ ගාථාව තනුවක් යොදා ගායනා කරවා ඇති බව නම් දැනගන්නට ලැබුණා:
(http://www.geetabitan.com/lyrics/N/namo-namo-buddha-dibakaraya-lyric.html)
"This verse from Buddhist religious book was musically presented and included in the Dancedrama 'Notir-puja' by Rabindranath Tagore to be sung by Shrimati."

==================================================

නමෝ නමෝ බුද්ධ දිවාකරාය
නමෝ නමෝ ගෝතම චන්දිමාය
නමෝ නමෝ නන්ත ගුණන්තවාය
නමෝ නමෝ ශාක්‍ය නන්දනාය

[[ ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම් ]]

[[ කෙළෙස් මල පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ ]]
[[ සොයා ආයෙමි පොළෝ තලයේ ]]
අනෙක් පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවන....

[[ ඉහල නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ ]]
[[ මගේ නෙත සිත මෝහනය කර ]]
මගේ කුදු බව පසක් කර ඇත

[[ ඇසේ මතුවන... ]]

මහගම සේකර / පණ්ඩිත් අමරදේව / පණ්ඩිත් අමරදේව