යුග යුග ගී

කිනිර | Dec. 21, 2020

මී මැස්සෝ චිත්‍රපටයේ නන්දා මාලිනී සහ වික්ටර් රත්නායක ගායනා කරන ගීත දෙකෙන් නිතර නෑසෙන ගීතය තමයි ඊයේ ඉදිරිපත් කළ දිවි මැදුරේ සඳළුතලේ ගීතය. අනෙක් ගීතය නම් නිතර අහන්නට ලැබෙන රුං රුං රුං රුං මී මැස්සෝ ගීතය.

මේ දෙදෙනා චිත්‍රපට වලට ගැයූ වෙනත් යුග ගී අතර අප විශේෂයෙන් ප්‍රිය කරන, සුදු මුතු මාල පැලැන්දූ (වාලම්පූරි), සරා සොඳුරු (හන්තානේ කතාව) වගේ ගීත කිහිපයක්ම තියෙනවා.

සරා සොඳුරු ගීතය වික්ටර් රත්නායකගේ මුල්ම චිත්‍රපට ගීතය. ගීතයේ පද මාලාව ලියා තිබෙන්නේ දෙදෙනෙක් - මහගම සේකර සහ සුගතපාල සෙනරත් යාපා. (මේ සටහන බලන්න)

1980දී සින්ග්ලංකා එළිදැක්වූ නන්දා මාලිනී සහ ටී එම් ජයරත්නගේ ගීත ඇතුලත් කැසට් පටය වෙනුවෙන් සරා සොඳුරු ගීතය නැවත පටිගත වුණා. නමුත් ඒ පටිගත කිරීමේදී වික්ටර් රත්නායක වෙනුවට රෝහණ සිරිවර්ධනගේ හඬ කේමදාසයන් යොදාගෙන තියෙනවා. මේ පටිගත කිරීමේදී නන්දා මාලිනිය "පුරා හඳට" කොටස "පුරා හඳක" ලෙස ගායනා කරනවා. මෙය වැරදීමක් විය යුතුයි.

ගායනය පමණක් නොව ගීත රචනයද දෙදෙනෙක් විසින් කර ඇති නිසා අපි මෙයට "යුග යුග" ගීතයක් කියමු.

============================================================

සරා සොඳුරු

පි: සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
ගැ: නුරා දියර ගඟුල් හැලී
සිසිල සදන ජීවිතයයි

ගැ: කැකුළු හිනා මුතු එළියේ
අඳුරු ලෙනේ දොර මතුවේ
පි: සැලේ මහද සැලේ සැලේ

ගැ: වනේ මලට හද විමනේ
බමරු වඩින ජීවිතයයි
පි: පිපාසිතවු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි
ගැ: ගලා හැලෙන සිළි සිළියේ
අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ නිවේ

පි: කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පළුවයි
ගැ: පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
පි: සැලේ මහද සැලේ සැලේ

[[[ ගැ: අනාගතය ඔබ පමණයි
පි: සැලේ මහද සැලේ සැලේ ]]]

මහගම සේකර, සුගතපාල සෙනරත් යාපා / ප්‍රේමසිරි කේමදාස / නන්දා මාලිනී, රෝහණ සිරිවර්ධන
මුල් ගායනය: නන්දා මාලිනී, වික්ටර් රත්නායක