ලප සඳ වන් හද

කිනිර | Dec. 19, 2020

අපි කතා කරමින් හිටියේ සත් බුමු මහලේ සඳකත් ගීතය සහ වෙනත් ආලාප ගීත ගැන.

ජීවන සුවඳක් දැනෙනවා නම් වූ වික්ටර් රත්නායක ගායනා කරන ආලාප ගීයක් මී මැස්සෝ චීත්‍රපටයේ තියෙනවා. මී මැස්සෝ චීත්‍රපටයේ තවත් හොඳ ගීත කිහිපයක් ම තියෙනවා.
රුං රුං රුං මී මැස්සෝ - වික්ටර් රත්නායක / නන්දා මාලිනී
සහන් සුවය ඇළුම් වැඩූ ඒ දුනුකේ මල - නාලිනී රණසිංහ

මේ චීත්‍රපටයේ වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී ගායනා කරන දිවි මැදුරේ සඳළුතලේ ගීතය නම් නිතර ඇහෙන්නේ නෑ.

සැළලිහිණි සංදේශයේ "ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි" ආභාෂයන් සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයේ ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා ගීතය ලිව්වා. ජයලත් මනෝරත්නයන් සැළලිහිණි සංදේශයේ කවි දෙකක් එහෙම පිටින්ම ගුරු තරුව නාට්‍යයේ ගීතයකට ගත්තා.

දිවි මැදුරේ සඳළුතලේ ගීතයේ නම් ලප නැති සඳ නෙමෙයි උපමාවට ගන්නේ - ලප ඇති සඳ. එහෙමද නැතිනම් ලප නැති සඳමද?

=====================================================

පි: දිවි මැදුරේ සඳළුතලේ
ආදර සඳ ගිලිහේ
හෙලූ සුසුම් මට සුවඳකි
කුමාරියේ කුමාරියේ
ඔබේ සුසුම මට සුවඳකි
කුමරියේ කුමරියේ

ගැ: රෑ තුන් යමේ දෙනෙතට නිදි නැතේයා
දුක් ගින්දරින් ඇස කඳුලින් තෙමේයා
පි: ඔබේ සුසුම මට සුවඳක් ගෙනේයා
කිමද අනේ සිදුවුණ මේ වියෝයා

පි: ලප සඳවන් හද ආලෙන් බැඳුනේ
එක රන් යහනේ සැතපෙන්නයි
ගැ: ඒ රන් යහනට කඳුළැලි වැටුනේ
බිළිඳෙකු වෙනුවෙන් සරසන්නයි

ගැ: කෝකිලයාණෙනි ආදර ගීයක්
ඇයි ඔබ සුසුමට පෙරලන්නේ
පි: සොහොනේ සැතපී මළ පොත අරගෙන
[[[ තනිවී ඇයි ඔබ කියවන්නේ ]]]

ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස / වික්ටර් රත්නායක, නන්දා මාලිනී
චිත්‍රපටය - මී මැස්සෝ (1969)