සත් බුමු පියුම් සහ ආලාප

කිනිර | Dec. 18, 2020

සත් බුමු පියුම් කියන යෙදුම ගැන තවත් හොයනකොට එය ගුත්තිල කාව්‍යයේ පමණක් නොව අමාවතුර, බුදු ගුණ අලංකාරය, සිංහල බෝධි වංසය, සද්ධර්මරත්නාවලිය, උමමග්ග ජාතකය යනාදියේත් භාවිතා කර තියෙන බව දැනගත්තා. සිදුහත් කුමාරයා ඉපදී සත් සත් බුමු පියුම් (සප්ත භූමක පියුම් හතක්) මතින් සක්මන් කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

භූමක (බුමු) හෙවත් තට්ටු හතක් ඇති ප්‍රාසාදයක් සත් මහල් ප්‍රාසාදයක් වෙනවා. අමරදේවයන් ගයන "සත් බුමු මහලේ සඳකත්" ගීතයේ සත් බුමු "මහලේ" කියන එක වැරදියි කියලයි මට හිතුනේ. නමුත් සරසවි සිංහල ශබ්දකෝෂයට අනුව නම් එය නිවැරදියි. මහල = ප්‍රාසාදය, ප්‍රාසාදයක භුමකය හෝ තට්ටුව

අමරදේව ප්‍රතිසංවේදය පොතේ එන අමරදේව ගීත නාමාවලියේ මේ ගීතයේ රචකයා "ජයසිරි" කියලයි තියෙන්නේ. අමරදේව - මහා ගාන්ධර්ව විබුධයාණෝ (නුවන් නයනජිත් කුමාර) පොතට එනකොට එය ඩබ්ලිව් ජයසිරි වෙනවා. පොත් දෙකේම ගීතයේ නම තියෙන්නේ වැරදියටයි (සත් ගොමු මහලේ). සංගීතය කාගේද කියා එක පොතකවත් සඳහන් වෙන්නේ නෑ. නමුත් මට ගිතෙන විදිහට නම් එය අමරදේවයන්ගේ විය යුතුයි. ගීතයේ 0:41 පමණ එන සිතාර් වාදන ඛණ්ඩය අමරදේවයන්ගේ සපැමිණි දුක් කඳුළැල් නිවාලන ගීතයේ අන්තර් වාදන සංගීත ඛණ්ඩයට බෙහෙවින් සමානයි.

අමරදේවයන් ගැයූ ආලාප (ad-lib) ගීත ස්වල්පය අතරට මේ ගීතයත් එකතු වෙනවා. පරසතු මල් චිත්‍රපටයේ සඳකත් පිණිදිය ගීතයත් මේ වගේම ආලාපයක්.

=====================================================

[[ සත් බුමු මහලේ සඳකත්
සීතල සඳළුතලේ ]]
[[ කොඳ මල් මුවරද විසුරුණු යහනට
මිණි මුතු බැඳි වා කවුළුව අතරින් ]]
මුහුලස ඔබගේ සිප ගන්නට ආ
මී මැසි රාවය සවන් වැදේ
[[ සත් බුමු මහලේ සඳකත්
සීතල සඳළුතලේ ]]

[[ රන් ලිය උර මත - මල් පෙති ළය මත ]]
සිපගත් තොල් මත - රැව්දෙයි වෙන තත
මීමැසි රාවය සවන් වැදේ

සත්බුමු මහලේ සඳකත්...

ඩබ් ජයසිරි(?) / පණ්ඩිත් අමරදේව(?) / පණ්ඩිත් අමරදේව