ආලිංගනයෙන් මත් වූවන් සනහන්

කිනිර | Dec. 15, 2020

සඳ ගැන ලියවුණු ගීත අනන්ත ඇති. සැමියා ගෙදර නැති බිරින්දෑවරුන්ට තනිරැකීමේ වගකීම මඩවල එස් රත්නායක සහ ඩෝල්ටන් අල්විස් ගීත රචකයින් සඳට පවරා තිබුණා. අජන්තා රණසිංහ සඳට පවරන වගකීම නම් ඊට තරමක් වෙනස්.
පෙම් රජ දහනට ඔබ පායන් - සිප බඳ කොමලතිනේ
මුව මී පොවා පියා - ආලිංගනයෙන් මත් වූවන් සනහන්

අමරදේවයන් සමිතා මුදුන්කොටුව සමග ගායනා කරන මේ ගීතයේ සංගීතය එම් මෝහන්රාජ් ගේ. අමරදේවයන් මුත්තුසාමි මාස්ටර් ගේ සංගීතයට එකම ගීතයක් වත් ගායනා කර නැත. ඒ අඩුව පිරිමහන්නට මුත්තුසාමි මාස්ටර් ගේ පුතණුවන්ට පුළුවන් වුනා.

Q: රංගලතාවන් සත් බුමු පියුමෙන් බබලන්නේ කොහොමද කියා මට නම් නොතේරේ. තේරෙන කෙනක් සිටී නම් පහදා දෙන්න.

=====================================

ගැ: සඳ මම නම් - හඳපාන ගලා යන සඳලු තලාවේ
මම දුටුවෙම් සත් බුමු පියුමින් බබලන - රංග ලතාවන්
පි: හිරු මම නම් - ඉරපාන ගලා යන වීදි අගු පිලේ
මම දුටුවෙම් ප්‍රාණය ගැහෙනා ගුලිවූ - අසරණ මිනිසුන්
ගැ: සඳ මම නම් - හඳපාන ගලා යන සඳලු තලාවේ

ගැ: නැග ඉන්ද්‍ර දිගින් - ඔබ හිරු තෙද රැස් පතුරායා
පි: සැදි නන් බරණින් - ඔබ සඳ කොමලී බබලායා
ගැ: ඔය දැඩි ගිනි රැස් හකුලා ගන් - පණ රඳවා ගැන්මේ
වෙහෙසෙන් හති හලනා - දුහුනන් දුගියන් අසරණයින් නොපෙලන්
පි: හිරු මම නම් ඉරපාන ගලා යන වීදි අගු පිලේ

පි: නෙක තරු සහසක් - සොමි කැල්මෙන් පරදන බිසවුන්
ගැ: දැක දස බිම්බර සෙන් නොසැලුනු - සූරිය නිරිඳුන්
පි: පෙම් රජ දහනට ඔබ පායන් - සිප බඳ කොමලතිනේ
මුව මී පොවා පියා - ආලිංගනයෙන් මත් වූවන් සනහන්

ගැ: සඳ මම නම් හඳපාන ගලා යන සඳලු තලාවේ..
පි: හිරු මම නම් ඉරපාන ගලා යන වීදි අගු පිලේ..
ගැ: සඳ මම නම් හඳපාන ගලා යන සඳලු තලාවේ..

අජන්තා රණසිංහ / මොහාන් රාජ් / පණ්ඩිත් අමරදේව, සමිතා එරන්දතී මුදුන්කොටුව