විලි ගත් හිරු

කිනිර | Dec. 13, 2020

ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කළ මඩවල එස්. රත්නායකයන්ගේ නීල නුවන් සී.ඩී. තැටියේ නීලා වික්‍රමසිංහ ගායනා කරන එක් ගීතයක් තියෙනවා. සී.ඩී. තැටියේ නම් ගීතයේ නම හැටියට සඳහන් කර ඇත්තේ තඹපත් ඇල්ලේ කියලයි. තඹපත් ඇල්ලේ කියන එක වැරදියි වගේම එහි කිසිම තේරුමක් හිතා ගන්නටත් අපහසුයි. නීලා වික්‍රමසිංහගේ ගී මිණි සරණිය පොතේ ගීත ලැයිස්තුවේ නම් එය රඹ පත් රැල්ලේ ලෙස නිවැරදිව සඳහන් කර තියෙනවා.

රඹ පත් රැල්ලේ රනට මුවා වී
විලි ගත් රත් හිරු සැඟැවෙනවා
කන්ද උඩින් සෙවනැල්ලක් දික්වී
වන පෙත් නිල්ලේ ඇතිරෙනවා

Madawala S Ratnayake - Neela Nuwan CD Cover Back

මේ ගීතයේ ඇති සමහර යෙදුම් මා වෙන කිසිම තැනක දැක නැහැ.
1. රඹ පත් රැල්ලේ රනට මුවා වී - ඉදී රන්වන් පාට වූ, සුළඟට රැලි නංවන, කෙසෙල් ගස් වල කොල වලටයි හිරු මුවා වෙන්නේ.
2. විලි ගත් රත් හිරු සැඟැවෙනවා - හිරු බැස යාම, ලැජ්ජාවෙන් රතු වී සැඟවී යාමක් ලෙසයි මඩවලයන් දකින්නේ.
3. වන පෙත් නිල්ලේ ඇතිරෙනවා - ඇඳ ඇතිරිල්ලක් වගේ කන්දේ සෙවනැල්ල වන පෙත් නිල්ලේ ඇතිරෙනවා.

මඩවලයන්ගේ ගම වූ අලව්ව ප්‍රදේශයේ හවස් කාලයේ මේ වගේ දර්ශන සුලබ දෙයක් වෙන්නට ඇති.

============================================================

රඹ පත් රැල්ලේ රනට මුවා වී
විලි ගත් රත් හිරු සැඟැවෙනවා
කන්ද උඩින් සෙවනැල්ලක් දික්වී
වන පෙත් නිල්ලේ ඇතිරෙනවා

ඇයිද හඳේ ඔබ ම දෙස බලන්නේ
අඳුර නොවෙද සිත සනහන්නේ
ගෙපැලට හිමි හිනැහී ගොඩ වන්නේ
මට තනි නෑ සඳ නුඹ පලයන්නේ

දහවල ගිනි ගත් පොලොව තෙමන්නට
ගං ඉවුරේ දිය රැළි ලෙළදෙනවා
කළුවර කුරගා සෙමෙන් ඇදෙනවා
සතුටක් හදවත පුරා නැගෙනවා

රඹ පත් රැල්ලේ රනට මුවා වී
විලි ගත් රත් හිරු සැඟැවෙනවා
[[[ කන්ද උඩින් සෙවනැල්ලක් දික්වී
වන පෙත් නිල්ලේ ඇතිරෙනවා ]]]

මඩවල එස්. රත්නායක / ඩබ්. ඩී. අමරදේව / නීලා වික්‍රමසිංහ