දියට නැමුණු මල්

Buddhi Jayasekara | Nov. 28, 2020

නන්දා මාලිනි ද ? අයිරාංගනී සේරසිංහ ද ?

- නැහැ, ඒ ළමාතැනී......!

දියට නැමුණු මල් - බක් මහ දීගේ චිත්‍රපටයෙන් (1969)
ගායනය - නන්දා මාලිනි ගෝකුල
පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - සෝමදාස ඇල්විටිගල

දයානන්ද ගුණවර්ධන සූරින් විසින් අධ්‍යක්ෂණය කළ 'බක් මහ දීගේ' චිත්‍රපටයට පාදක වුණේ එතුමාගේ ම 'බක් මහ අකුණු' (1962) නම් වේදිකා නාට්‍යයයි. මෙය The Marriage of Figaro නම් ප්‍රංශ වේදිකා නාට්‍යය ඇසුරින් නිපදවූවක්. 'බක් මහ දීගේ' චිත්‍රපටයේ එන 'ආදර හැඟුම්' (පණ්ඩිත් අමරදේවයන්), 'මලකින් මලකට' (නන්දා මාලිනිය) හා 'කන්ද උඩින්' (අමිතා වැදිසිංහ මහත්මිය) යන ගී පිළිබඳව බහුල ව කතා බහ කෙරුණ ද ඒ හා සමානව ම විශිෂ්ට වූ මේ ගීතය පිළිබඳ සඳහන් කෙරෙන්නේ අල්ප වශයෙනි.

සැබවින් ම මේ ගීතය කවියක් එසේ ත් නැත්නම් සිවුපදයක් ලෙස හැඳින්විය හැකියි.
දියට නැමුණු මල් පවනට හැලිලා පෙණ පිඬු සමඟින් පාවෙන්නේ
පුළුන් වලා මත සඳ රැස් වැටිලා සුළං සමඟ විසිරී යන්නේ
දියඹ නැගෙන රැළි දිය මත හැපිලා දිය කඳ දස අත පැතිරෙන්නේ
ලොවේ මිහිර දෑතින් නො ලබාලා සුසුම් කි කල සැනසුම දෙන්නේ

පරිසරයේ සුන්දරත්වය සියුම් ලෙස ග්‍රහණය කරගත් රචනාවක් ලෙස පෙනී ගිය ද, එය හුදු පරිසර වැනුමක් ම නොව, කතා නායිකාව ගේ චිත්ත සන්තානයෙහි යටපත් වී ඇති ශෝකය සියුම් ලෙස මුදා හැරීමට ගත් උත්සාහයක් යැයි සිතිය හැකියි.

බැලු බැල්මට ඉතා කෙටි පද රචනාවක් ලෙස පෙනී ගිය ද, සෝමදාස ඇල්විටිගලයන් සංගීතය නිර්මාණය කළ ආකාරයෙන් හැඟී යන්නේ දිගු ගීතයක් ලෙසයි. රාගධාරී සංගීතයේ ධානි හා භිම්පලාසි යන රාගයන්හි ඡායාවන් මෙහි වැටි ඇති අතර බටහිර සංගීතයේ එන සංධ්වනි ලක්ෂණ ද පෙර හා අතුරු වාදන සඳහා උපයෝගී කරගෙන ඇති බව දැකිය හැකියි. ගීතය පුරා Counter Melody සංකල්පය භාවිත කර ඇති අතර සිතාර්, බටනලා, ස්වර මණ්ඩල වාද්‍ය ඛණ්ඩ මඟින් මල් පෙති, පෙණ පිඬු විසිරෙන අයුරු ද, වයලීන සමූහය මගින් සුළං රැළි පාවී යන අයුරු ද සිහිගන්වන බව මට හැඟේ. ඒ සමඟ Harmony ඛණ්ඩ වාදනය වන Cello වාද්‍ය භාණ්ඩයේ ගැඹුරු නාදය හා Base Clarinet වාදන ඛණ්ඩ ගීතයේ එන භාව ප්‍රකාශනය තීව්‍ර කිරීමට සමත් ව ඇතැයි සිතමි.

ධ්‍යානයකට සමවැදුණාක් මෙන් ගීතය ගායනා කරමින් නන්දා මාලිනිය ප්‍රකාශ කල සංයමයත්,භාවයනුත් නොවන්නට ගීතය සාර්ථක නොවනු ඇත. ඇගේ හඬෙහි උස් පහත් වීම් (Dynamics) ඒ සඳහා මැනවින් දායක වී ඇත. නන්දා මාලිනියගේ තරුණ කටහඬ නිසා ගීතය ශ්‍රවණය කරන විට දැනෙනුයේ නැවුම් මිහිරකි. නන්දා මාලිනි ද සාර්ථක චිත්‍රපට පසුබිම් ගායිකාවක් බවට පත් වන්නේ එබැවිනි.

චිත්‍රපට දර්ශනයේ පෙනී සිටි 'අයිරාංගනී සේරසිංහ' මහත්මිය චරිතයේ ඇති සංකීර්ණ මනෝභාවයන් ගීතය තුළ දී ඉදිරිපත් කළ අයුරු අසමසම යි. එසේම චිත්‍රපට දර්ශනය රූගත කිරීමේ දී යොදාගත් කැමරා කෝණ ද, ගීත දර්ශනයේ භාවය ඉහළ නංවන්නට හේතු වී ඇත.

මෙය කලින් මෙම සමූහයේ ම පළ කරන ලද සටහනක් වැඩිදියුණු කිරීමකි. නැවත පළ කිරීමේ අරමුණ වූයේ බක්මහ අකුණු නාට්‍යයේ මෙම ජවනිකාවට අදාළ කවිය ගායනා වූයේ කුමන තනුවකින් ද යන්න සොයා බැලීම සඳහා යි. ඒ පිළිබඳ ව දන්නා අයෙක් සිටී නම් එකී තොරතුරු පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.