පිපාසයෙන් පිරි පොළෝ තලේ

කිනිර | May 9, 2020

කේමදාසයන්ගේ පසු කාලීන සංගීත නිර්මාණ පෙරදිග රාගධාරී සංගීත සම්ප්‍රදායට වඩා බටහිර සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායට අනුව යමින් කළ බව ප්‍රකට කාරණයක්. නමුත් කේමදාසයන්ගේ සංගීත දිවියේ මුල් කාලයේ ඔහු පෙරදිග රාගධාරී සංගීතයට අනුව යමින් තමයි නවරැල්ල නම් වූ සංගීතමය නාටකය වෙනුවෙන් ගීත නිර්මාණය කළේ. කේමදාසයන් සංගීත මංජරී නම් වූ සංගීත විද්‍යායතනය පවත්වා ගෙන යන කාලයේ එය තුලින් නිර්මාණය වූ තුන් වැනි සංගීතමය නාටකයයි නවරැල්ල.

නවරැල්ල මුද්‍රා නාටකයේ අරමුණ වුනේ උත්තර භාරතීය රස විවරණයේ එන නව නළු රසයන්, ගී පද, සංගීතය සහ නර්තනයන් මගින් වේදිකාවේ නිරූපණය කිරීමයි. මෙහි ගීත 9ක් තිබූ අතර ඒ ගී පිළිබඳ විස්තර පහත දැක්වේ.

1. මේ ලෝ තලයේ (කරුණා රසය, පීලූ රාගය - Karuna = sadness, pathos)
ධර්මදාස වල්පොල, ලතා වල්පොල
2. යව් යව් යව් පෙරටම යවු (වීර රසය, මල්කෞන්ස් රාගය - Shringar = love, joy)
ධර්මදාස වල්පොල, ලතා වල්පොල සහ පිරිස
3. ඉරෙන් පිපී වැනී වැනී (ශෘංගාර රසය, ජයජයවන්ති රාගය - Vira = heroism, valor)
ධර්මදාස වල්පොල, ලතා වල්පොල
4. රුදුරු ගොර ජන හඬිනි බියකරු (භයානක රසය, මේඝ මල්හාර් රාගය - Bhayanaka = fear)
මොහිදීන් බෙග්
5. බලන් සදා නෝගි නිදන (හාස්‍ය රසය, බිලාවල් රාගය - Hasya = laughter, comedy)
සමූහ ගායනයකි
6. මුව අගින සුරා ගඳ (භීබත්ස්‍ය හෙවත් පිළිකුල් රසය, භින්නශඩ්ජ රාගය) - Vibhatsa (digust)
ලතා වල්පොල
7. ගලක් මතුපිටද (අද්භූත රසය, වෘන්දාවනී සාරංග රාගය - Adbhuta = surprise)
ලතා වල්පොල සහ පිරිස
8. අහස ගුගුරා (රෞද්‍ර රසය, භෛරවී රාගය - Raudra = anger)
ශාන්ති ගීතදේව, ඒ ජේ කරීම්
9. පිපාසයෙන් පිරි පොළෝ තලේ (ශාන්ත රසය, යමන් රාගය - Shanti = peace)
හරූන් ලන්ත්‍රා, ඇන්ජලීන් ද ලැනරෝල්

(ඇන්ජලින් ද ලැනරෝල් යනු ඇන්ජලින් ගුණතිලකගේ විවාහයට පෙර නම යි.)

නවරැල්ලේ සියළුම ගීත රචනා කළේ ධර්මසිරි ගමගේ.

Navaraella souvenir
(නවරැල්ල සමරු පිටපත - ගාමිණි වික්‍රමගේ මිතුරාගේ අනුග්‍රහයෙනි)

යමන් සහ යමන් කල්‍යාණ් රාග ඇසුරෙන් සිංහල ගීත සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය වී තියෙනවා. මේ එයින් කිහිපයක්
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ගුණදාස කපුගේ
සැන්දෑ අහසේ - දයාරත්න රණතුංග
හදේ කොතැනක - සුනිල් එදිරිසිංහ
පිපාසයෙන් පිරි මෙලෝ තලේ ගීතයේ (2:08ට පමණ) බටනලාවෙන් වාදනය වෙන සංගීත ඛණ්ඩය, සුනිල් එදිරිසිංහගේ හදේ කොතැනක ගීතයේ ආරම්භක වාදනයේ සහ අන්තර් වාදන වල අවසානයේ එන බටනලාවෙන් වැයෙන සංගීත ඛණ්ඩයම වන තරමටම දෙක එකිනෙකට සමානයි.

පිපාසයෙන් පිරි මෙලෝ තලේ ගීතය

හදේ කොතැනක ගීතයේ ආරම්භක වාදනය (0:16 අහන්න)